කොරෝනා වයිරසය ආසාදිත වූ මීගොඩ ප්‍රදේශයේ වෙළඳුන් දෙදෙනකු තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට පැමිණීම හේතුවෙන් එහි කඩ එකොළහක් ඊයේ (29) සිට වසා දැමූ බව තඹුත්තේගම වෛද්‍ය නිලධාරී මිලාත් යහතුගොඩ මහතා කීවේය.මෙම වෙළෙඳුන් දෙදෙනා පසුගිය 18, 19 දින දෙක තුළදී එළවළු රැගෙන යාමට තඹුත්ගම ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර එහි කඩ 11කට ගොස් ඇති බව පැවැසේ.  එම කඩවල සිටි පුද්ගලයන් සියයක පමණ පිරිසක් ද දින 14ක කාලයක් නිවෙස් තුළම නිරෝධායනය කිරිමට තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කළහ.


තඹුත්ගම නගරයේ පවත්වාගෙන යන මූල්‍ය ආයතනයකට නිරෝධායක ඇඳිරිනීතිය පනවා ඇති හැටන් ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණීම හේතූවෙන් එම මූල් ආයතනය ද වසා දමා එහි සේවකයින් ද දින 14ක් නිරෝධායනය කිරිමට කටයුතු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් හා මූල්‍ය ආයතනයේ සේවකයින්ගේ පී.සී.ආර්. පරිමාණ ලබන සතියේ සිදුකිරීමට නියමිත බව යහතුගොඩ මහතා කීවේය.  මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ

වෙළෙඳුන් දෙදෙනාට කොරෝනා වයිරසය ආසාදන වී ඇති බවට පී.සී.ආර්. පරික්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ පසුගිය 23 වැනිදා වන අතර ඒ බව  වෛද්‍ය නිලධාරි කාර්යාලයට  දන්වා ඇත්තේ 28 දිනයි. එම නිසා පසුගිය දින කිහිපයේම ආර්ථික මධ්‍යස්ථානයේ  වෙළඳුන් හා එහි සේවකයන් තම

වෙළඳසල් විවෘත කර ගනුදෙනු කළ බව වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනවිරත්න මහතා කීවේය.

(තඹුත්තේගම - සමන් දිසානායක)