හොංකොං නුවර සිට ක්‍රියාත්මක කෙරෙන කැතේ පැසිෆික් ගුවන් සේවය සිය සේවකයන් 5,900ක් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ඊයේ (21දා) අනාවරණය කළේය. නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය හේතුවෙන් බලපා ඇති සංචරණ සීමා නිසා සිය ව්‍යාපාරය වෙත එල්ල වී තිබෙන බලපෑම හේතුවෙන් මෙම තීරණය ගත් බව සමාගම පවසයි. 

එසේම සිය සමාගමේ වියදම් තවදුරටත් අඩු කිරීමේ අවස්ථාවක් ලෙස කලාපීය ගුවන් සේවයක් සේ පවත්වාගෙන ගිය 'කැතේ ඩ්‍රගන්' සන්නාමය ඉවත් කිරීමටද සමාගම තීරණය කර තිබේ. මීට අමතරව ඉදිරියේදී සිය ගුවන් යානා තුළ සේවය

කරන කාර්යමණ්ඩලය සහ ගුවන් නියමුවන් සමඟ ඇති කරගන්නා කොන්ත්‍රාත්තුවලට අදාළ කොන්දේසි වෙනස් කිරීමටද සමාගම අදහස් කරගෙන සිටින බවත් පැවසෙයි.

විදෙස් මාධ්‍ය පවසන ආකාරයට මෙම වසංගත තත්ත්වයේ බලපෑමත් සමඟ කැතේ පැසිෆික් ගුවන් සේවය මේ දක්වා සිය සේවකයන් 8,500ක් සිය රැකියාවලින් ඉවත් කර තිබේ. එය එම සමාගමේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවෙන් 24%ක ප්‍රතිශතයකි. මෙම සංඛ්‍යාව වියදම් අඩු කිරීමේ අරමුණින් මේ දක්වා පුරවා නොමැති පුරප්පාඩු සමගින්ද වන අගය බව සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කැතේ පැසිෆික් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ඔගස්ටස් ටෑන්ග්, "මේ ගෝලීය වසංගත තත්ත්වය ගුවන් සේවා කර්මාන්තය වෙත ඉතාමත් දරුණු ලෙස බලපා තිබෙනවා. අපට මේ සමාගම රැකගැනීමට නම් මෙවැනි කරුණු ක්‍රියාත්මක කිරීමට සිදුවීම වේදනාබර සත්‍යයක්.” යැයි පවසා සිටියි.

මේ අතර, නව කොරෝනාවෙන් බලපෑම් එල්ල වූ ගුවන් සේවය වෙත මේ වනවිටත් හොංකොං රජයෙන් සහන පැකේජයක් ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 5ක මුදලක්ද හිමිව ඇතැයි සඳහන් වෙයි. කෙසේ වෙතත් සෑම මසකදීම සිය සමාගමට හොංකොං ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර මුදලක් අහිමිවීම මෙලෙස රැකියා අහිමි කිරීමට හේතුව බව සඳහන් කර තිබේ.