හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර අප්‍රේල් නවවැනිදා තමන් යටතේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතරදෙනකුට දුරකතනයෙන් අමතා ප්‍රහාරයක් ගැන ලැබුණ විදෙස් බුද්ධි තොරතුර ගැන දැනුවත් කළ බව පැවැසුව ද දුරකතන විශ්ලේෂණ වාර්තා මගින් ඒ බව සනාථ කළ හැකි සාක්ෂි නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ෂන කොමිසමට ඊයේ (21) දැනුම් දුන්නේය.

ජයසුන්දර මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ සිදුකෙරුණු අතර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ මධු ජයතිලක මහත්මිය හරස් ප්‍රශ්න විමසීමේදී මතු කළ ගැටලුවකදී නීතිපතිට දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් මේ බව කොමිසමට දැනුම් දෙන ලදී. 

සහරාන්ලාගෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ගැන දන්වා විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුරක් පිළිබඳව රාජ්‍ය බුද්ධි ප්‍රධානි විසින් අප්‍රේල්

හත්වැනිදා දුරකතනයෙන් දැනුම් දෙන ලද බව පිළිගන්නේ දැයි ජයතිලක මහත්මිය ජයසුන්දර මහතාගෙන් විමසුවාය. එහිදී ඔහු කියා සිටියේ දුරකතනයෙන් එවැනි දැනුම්දීමක් නොකළ බවය. එය තමන්ට ලිඛිතව අප්‍රේල් නවවැනිදා ලැබුණ බව ද ඒ අනුව තමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතරදෙනකුට එය ලිඛිතව දැනුම් දී දුරකතනයෙන් ද දැනුම් දුන් බව ද ජයසුන්දර මහතා පැවැසීය.

එහෙත් තමන් දුරකතනයෙන් දැනුම් දුන් බවට වන වාර්තා කුමන හේතුවක් නිසා හෝ මේ කොමිසමට ලැබී නැති බව ද ඔහු කීය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙත්වා දුන්නේ සාක්ෂිකරු මීට පෙර ද අවස්ථා කිහිපයකදී මේ ප්‍රශ්නය මතු කළ නිසා ඔහුගේ කාර්යාලයේ ජංගම දුරකතනවල විශ්ලේෂණ වාර්තා ද ගෙන්වා ගත් නමුත් මේ කියන ඇමතුම් ගත් බවට එයින් ද සනාථ නොවන බවය. තමන්ගේ දුරකතන වාර්තාවල තමන් ලබාගත් ඇමතුම් පිළිබඳ තොරතුරු ඇතුළත් නොවීම ගැටලුවක් බව ද ඒ ගැන තමන්ට සැකයක් පවතින බව ද ජයසුන්දර මහතා පැවැසීය. 

ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරන්නැයි පැමිණිල්ලක් නොකළේ මන්දැයි නීතිඥ ජයතිලක මහත්මිය එහිදී විමසා සිටියාය.

එයට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ මීට පෙර පැවැති මලල්ගොඩ කමිටුවත්, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත්, තමන් යටතේම එකල පැවැති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවත් තමන්ට එරෙහිව කළ

විමර්ශන හා සාක්ෂි විමසිම් ගැන තමන්ට විශ්වාසයක් නොතිබුණු බවය.

තමන් වැරැදිකරු ලෙස පූර්ව නිගමනයක සිට සාක්ෂි විමසිම් සිදුකළ බව ද ඔහු පැවැසිය. එබැවින් තමන්ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙන තෙක් විශ්වාසයෙන් යමක් ප්‍රකාශ කළ නොහැකි වූ බව ද තමන් දන්නා සියල්ල මෙම කොමිසම හමුවේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු කීය. 

තමන් අනිවාර්යය නිවාඩු යැවූ පසු රාජ්‍ය බුද්ධි ප්‍රධානි නිලන්ත ජයවර්ධන මහතාගේ ඔත්තුකරුවන් යතුරුපැදිවලින් තමන් පසුපස ලුහුබැඳි බව ද එසේම ඔහු තමන් සමඟ කතා කිරීම පවා අඩු කළ බව ද ජයසුන්දර මහතා පැවැසිය.

තමන්ට ජීවත් වීමට සිදුවූයේ එවැනි වාතාවරණයක් තුළ බව ද ඔහු කීවේය.

(මුදිතා දයානන්ද)