මේ වසරේ සිදුවන ගෝලීය වෙළෙඳාමේ වටිනාකම පසුගිය වසරේ සිදුවුණු වෙළෙඳාමේ වටිනාකම හා සාපේක්ෂව 7%ත් 9%ත් අතර ප‍්‍රමාණයකින් පහත වැටෙනු ඇතැයි වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) සඳහන් කර සිටියි. විශේෂයෙන්ම නව කොරෝනා වසංගතයේ බලපෑමක් ඇතිව තිබෙන තත්වයන් මේ සඳහා හේතු වී ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

වසරේ පළමු කාර්තු දෙකේදී සිදුවුණු දරුණු කඩාවැටීම් මේ සඳහා වැඩි වශයෙන් බලපා තිබෙන බව එම සංවිධානය සඳහන් කරයි. කෙසේ වෙතත් තෙවැනි කාර්තුවේදී මේවයේ වෙනසක් බලාපොරොත්තු විය හැකි බවද පැවසෙයි. විශේෂයෙක්ම චීනය යළිත් වරක් සිය ආර්ථික කටයුතු යථාවත් කරගැනීමට සමත්වීම ඊට හේතුව වී ඇත.

එහෙත් තෙවැනි කාරිතුවේ වාර්තා විය හැකි මෙම ගෝලීය වෙළඳාමේ වටිනාකම් පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා වු වටිනාකම්වලට වඩා 4.5%කින් අඩුවීමේ

අවස්ථාවක් පවතින බවත් මෙහිදී අවධාරණය කෙරී ඇත.

"කාර්යාල උපාංග සහ වෛද්‍ය සැපයුම් සඳහා වන වෙළඳාමේ ඉල්ලුම තෙවැනි කාර්තුවේදී ඉහළ ගිහින් තිබෙනවා. හැබැයි මෝටර් රථ සහ බලශක්ති අංශය තුළ වෙළෙඳාම තවමත් දුර්වල මට්ටමකයි පවතින්නේ. ඒ වගේම නිමි ඇඳුම් අංශයත් වඩාත් ශක්තිමත්." UNCTAD පවසා සිටියි.

විශේෂයෙන්ම වසංගතයේ මුල් මාස කිහිපයේදී දරුණු කඩා වැටීමක් පෙන්නුම් කළ චීන අපනයන තෙවැනි කාර්තුවේදී ඉතාමත් ශක්තිමත්ව ප‍්‍රකෘතිමත් වීමත් සමඟ මේ වනවිට පසුගිය වසරේ තෙවැනි කාර්තුව හා සාපේක්ෂව 10%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

"සමස්තයක් විදියට ගත්විට 2020 වසරේ මුල් මාස නවයේදී වින අපනයන ප්‍රමාණය 2019 වසර සඳහා සිදුකළ අපනයන ප‍්‍රමාණය හා සමාන තත්ත්වයක් තමයි තිබෙන්නේ."

මේ අතර 2020 වසරේ සිවුවැනි කාර්තුවේදී මෙම ගෝලීය වෙළෙඳාමේ වර්ධනය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 3%ක පමණ අඩුවීමක් පෙන්නුම් කරනු ඇතැයිද එම සංවිධානය සඳහන් කරයි. එහෙත් එය තීරණය කිරීම සඳහා මෙම වසංගත තත්ත්වය කෙසේ ලොව පවතීවිද යන්න හේතු වන බවද ඔවුන් අවධාරණය කරයි.