ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ බව කියන බද්දේගම කැලෑ ජෝන් නැමැති සැකකරුවකු හෙරොයින් මිලිග්‍රෑම් එක්දහස් නවසිය හැටක් සමග 25දා  ලුනාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.

සැකකරු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 


මෙම සැකකරු වසර අටක් තිස්සේ  අගුලාන ප්‍රදේශයේ හිතවතකුගේ නිවසක රැඳී සිටිමින් දහවල් කාලයේ වෘත්තීමය වශයෙන් කුලී වැඩවල නිරතවන්නකු බව සඳහන් කරන පොලිසිය ඔහු රාත්‍රී කාලයේ එම නිවාසවලම බඩු සොරකම් කර ඇති බව පොලිසිය කියයි. ඉදිකෙරෙමිත් පවතින නිවාසවල කම්බි උපාංග සහ වාහත බැටරි, ටයර්, යකඩ බට මොහු සොරාගෙන ඇති බව පොලිසිය කියයි.

හෙරොයින් භාවිතයට ඉතා දැඩිව ඇබිබැහී වී සිටින මෙම සැකකරුට දිනකට හෙරොයින් පැකැට් 10ක් 15ක් පමණ අවශ්‍ය වන බව සඳහන් කරන පොලිසිය මොහු බද්දේගම උපන් පුද්ගලයකු බව පැවැසීය. 

බද්දේගම හෙරොයින් සොයා ගැනීම දුෂ්කර බැවින් අගුලාන ප්‍රදේශයට හෙරොයින් සඳහාම පැමිණ පදිංචි වී ඇති බව සඳහන් කරන පොලිසිය ඔහු දෙදරු පියකු බව පැවැසීය. බද්දේගම ප්‍රදේශයේ ද විවිධ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ වූ පුද්ගලයකු බව සඳහන් කරන පොලිසිය මොහු යුද හමුදාවේ හිටපු සෙබළකු බව පැවැසීය. 


සැකකරු 26 දා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවැසීය. මෙම වැටලීම ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධික්ෂණයෙන් සිදුකෙරිනි.