ඇමෙරිකානු රාජ්‍ය ලේකම් පොම්පේයෝ ලංකාවට එන්නේ මල් පැළ බෙදන්න නෙවෙයි. අපට තර්ජනය කර චිනයට එරෙහි බල කදවුර ආසියාවේ හදාගත්තයි.  ඉන්දියානු අගමැති ලංකාවට එනකොට කළු කොඩි දාන්න කතා කරපු ආණ්ඩුවේ අධිරාජ්‍ය විරෝධී දේශප්‍රේමීත් දැන් නිහඩ ඇයි" දැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා 25 දා පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ පැලවතේ පිහිටි  ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය. ඔහු එහිදී මෙසේ ද පැවැසීය.

පසුගිය මාස කිහිපය තුළදී ලෝකයේ බලවත් රටවල් ශ්‍රී ලංකාවට සුවිශේෂී මැදිහත්වීමක් කළා. පවතින  කොරෝනා තත්ත්වය යටතේ ජනතාවත් සෞඛ්‍ය අංශත් අදාළ නිරෝධායන කටයුතු අනුව කටයුතු කළත් ශ්‍රී ලංකා රජයත් විදේශ බලවත් රාජ්‍යයනුත් ඒ නීති රිති කිසිවක් පිළිපදින්නේ නැහැ. ජනතාවට මුඛවාඩම් දාගන්න කියලා ඉතාම හදිසියේ සිදුවන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා  සංචාරය ගැටලු රැසක් මතුකරනවා. ඇමෙරිකාව තුළත් ලෝකය තුළත් ලංකාවෙත් මෙතරම් බරපතළ තත්ත්වයක් තිබියදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හදිසියේ නිල සංචාරයකට පැමිණීමේ හේතුව ශ්‍රී ලංකා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. ඇමෙරිකානු ජනාධිපතිවරණය යෙදී තිබෙන්නේ නොවැම්බර් තුන්වැනිදාට. මයික් පොම්පියෝ එන්නේ මේ මාසේ 28 වැනිදා.  ජනාධිපතිවරණයට දින 5ක් තිබියදී ඇමෙරිකානු අධිරාජ්‍යයේ යුද සහ දේශපාලන පණිවුඩ ලෝකය වටේ ගෙනියන පණිවුඩකරුවා ලංකාවට එන්නේ ඇයි? අපේ රටේ රාජ්‍ය නායකයන් සමග ඇමෙරිකානු නායකයන්ට අදහස් හුවමාරු කරගැනීමට අවශ්‍ය නම්

එය අන්තර්ජාලය ඔස්සේ කළ හැකියි. එවැනි අත්දැකීම් රාශියක්ම තිබෙනවා. ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලංකාවෙ ජනාධිපතිවරයාට අක්තපත්‍ර භාරදුන්නේ ඔන්ලයින් ක්‍රමයට. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වැනි සංවත්සරයට ලෝකයේම  රාජ්‍ය නායකයන් සම්ඛන්ධ වුනේ ඔන්ලයින් ක්‍රමයට. ඇමෙරිකාව, සුඩානය සහ ඊශ්‍රායලය ගිවිසුමක් අත්සන් කළේ ඔන්ලයින් ක්‍රමයට. එසේ තිබියදී ඡන්දයට දවස් පහකට කලින් මයික් පොම්පියෝ එන්නේ ඇයි? ශ්‍රී ලංකා ආණ්ඩුව ඔහුගේ පැමිණීම ස්ථිර කරන්නේ සතියකට පමණ පෙර. එක්කෝ වසන් කිරීමක්. නැත්නම් 20 සංශෝධනයෙන් පසුව හිටපු ඇමෙරිකන් පුරවැසියෙක් වන ගොට්ඨාහය රාජපක්‍ෂ මහතාට විශාල බලතල ප්‍රමාණයක් ගැනීමෙන් පසුව නිවේදනය කළා ද කියලා ගැටලුවක් තිබෙනවා. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ පැමිණීම ස්ථිර කරතත් 23 වැනිදායි. විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයකු පැමිණීමේදී සාකච්ඡා කරන කරුණු කලින් නිවේදනය කරනවා. නමුත් මේ පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ පවා සාකච්ඡා කෙරිලා නැහැ. මයික් පොම්පියෝ  සමග ඇමෙරිකානු ආරක්ෂක ලේකම් මයික් එස්පර් ඉන්දියාවට  යනවා. ඔහුත් ලංකාවට එනවා ද කියලා වාර්තා කරලා නැහැ. ග්ලොබ් මාස්ටර්-3 කියන ගුවන් යානය මිට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණියා. ඇමෙරිකන් සෙබළුන් 134ක් පමණ සහ වාහන  ගෙනියන්න පුළුවන් මේ යානයෙන් පැමිණි පුද්ගලයන් කවුද? මොවුන් සුපර් හියුමන්ලා ද?

නැත්තම් ලංකා ආණ්ඩුව ධනවතුන් සහ බලවතුන් ඉදිරියේ කොරෝනා නීති ක්‍රියාත්මක කරන්නේ නැති බවට තවත් උදාහරණයක් ද? ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එන්තේ මල් පැළ බෙදන්න නෙවෙයි. තරජනය කරත්ත. ලංකාව දණගස්වලා එන්නේ. එසේ එන අයගේ ආරක්‍ෂක බල ඇණීය ඇවිල්ලා නතර වෙලා ඉන්නේ කොහේ ද? ඔවුන් යන්නේ එන්නේ කොයි ද? මොවුන් නතර වෙන හෝටල සේවක සේවිකාවගේ

ආරක්ෂාවට වග කියන්නේ කවුද? ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ දකුණු ආසියානු කලාපය භාරව ඉන්න නියෝජ්‍ය රාජ්‍ය ලේකම් යන දෙදෙනාම ඔක්තෝබර් මාසයේ 23 වැනිදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක සටහන් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධව නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර තියෙන්නේ ලංකාව තමන් කවුරු එක්ක ද යන්නේ කියන දුෂ්කර තීන්දුව ගන්න ඕනෑ කියලා. අත්‍යවශ්‍ය තීන්දුවක් බව ඔහු අවධාරණය කරනවා.
එන්න කලින්ම තර්ජනය කරලා එන්නේ. මේ ආණ්ඩුවට දේශප්‍රේමී සළුපිළි අන්දපු විශාල පිරිසක් ඉන්නවා. ඉන්දියානු අගමැතිවරයා ලංකාවට එනකොට කළු කොඩි දාන්න කියපු කට්ටියත් ආණ්ඩුවේ ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ නරි කෙදිරිල්ලක්වත් නැත්තේ ඇයි? ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දේශප්‍රේමිත්වයක් ආරෝපණය කරපු අයගෙන් අපි අහන්නේ රටට තර්ජනය කරලා එන මේ පිරිස ගැත, තර්ජ‍නාත්මක ප්‍රකාශ ගැත, ඇයි නිහඩ? 

අපේ මාතෘභූමියේ පුරවැසිභාවය  වර්තමාන ජනාධිපතිවරයාත් හිටපු ඇමෙරිකානු  පුරවැසියෙක්. ඔහු ඡන්දය ඉල්ලන අවස්ථාවේදී ඒ  පුරවැසිභාවය ඉවත්වේලා  තිබුණා ද කියන එක ප්‍රශ්නයක්. යුද තර්ජනත්, දේශපාලන තර්ජනත්, බ්ලැක්මේල් කිරීමත් ඉතා තදින් ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ තිබෙනවා. මට ජනාධිපතිවරයාගේ පුරවැසිකම බ්ලැක්මේල් කරමින් රාජ්‍ය ලේකම්වරයා මැදිහත් වෙනවා ද කියන එක ප්‍රශ්නයක්. මේ මැදිහත්වීමේ අරමුණ චීනය සමග තිබෙන බල අරගලයේදී ලංකාව ඇමෙරිකාව පැත්තට යන එකයි. අපේ රටේ ආණ්ඩුව ඒය හැංගුවත් ඇමෙරිකාව එය ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවේදී දින දෙකක් සාකච්ඡා කරන්නේ ආර්ථික හෝ  කොවිඩ් ගැටලුවට අදාළව කරුණු තෙවෙයි. ඉතා පැහැදිලිවම ඔවුගේ වුවමනාව යුද සහ ආරක්‍ෂක ගිවිසුම් අත්සන් කිරීමයි. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවත් ඉන්දීය මාධ්‍යත් ඒ පිළිබඳව යම් ප්‍රමාණයකට වාර්තා කර තිබෙනවා. මේ පැමිණීමේදී ඉන්දියාව සමග සී.ජී.එස්.පී. කියන ගිවිසුම තව වර්ධනය කර අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඩී.ඊ.සී.ඒ. කියන ගිවිසුම අත්සන් කරන්න ඉන්දීය කැබිනට්  මණ්ඩලයේ සාකච්ඡා කරලා තියෙනවා. සික්ස් මෝවා නැත්නම් සී.අයි.එස්.එම්.ඕ.ඒ. කියන ගිවිසුම් සහ ලිමෝ තැනම් එල්.ඊ.එම්.ඕ.ඒ. කියන ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනවා. 

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ආසියාවේ සිදුකරන සංචාරය පිළිබඳව ඒ ඒ රටවල මාධ්‍යය වාර්තා කර තිබුණත් ලංකාවේ කරන දේ ගැන කිසිදු ප්‍රචාරයක් මේ දක්වා ලංකා රජයෙන් හෝ ඇමෙරිකාවෙන් හෝ සිදුකර නැහැ. ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච ආණ්ඩුවක් නම් ඒ ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වගකීමක්  තිබෙනවා මේ රාජ්‍ය ලේකම්වරයා පැමිණෙන්නේ මොකට ද කියලා ඔහු පැමිණීමට පෙර ජනතාවට හෙළි කිරීමට. ලංකාවට තෝරා ගැනීම් කිහිපයක් පොම්පියෝ විසින් යෝජනා ඉදිරිපත් කරනවා. ඔහු ඉදිරිපත් කළ යෝජනා මොනවා ද කියලා වහාම රටට හෙළි කරන්න. අඩුම ගාණේ පොම්පියෝ එන්න කලින් කැබිතට මණ්ඩලයටවත් ඒ ගැන කියන්න. දේශපාලන, ආර්ථික සහ යුදමය සියලු අංශවලට අදාළ වන එම්.සී.සි. ගිවිසුම අත්සන් කිරිම පිළිබඳවත් මේ පැමිණීමේදී සාකච්ඡා කරනවා ද කියලා හෙළි කරන්න.