කොළඹ කොටුව පොලිස් බල ප‍්‍රදේශයට නිරෝධායන ඇදිරි නිතිය පැනවීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට වෙන්කළ දුම්රිය හැර, ප‍්‍රධාන මාර්ගයේ, පුත්තලම මාර්ගයේ, කැළණි වැලි මාර්ගයේ සියලූම කාර්යාල දුම්රිය සහ සියලූම මගී දුම්රියන් අද (26) සිට අවලංගු කර තිබේ.

සියලූම දුරගමන් සේවා දුම්රියන් සහ නගරාන්තර සීඝ‍්‍ර ග‍්‍රාමී දුම්රියන්ද අද සිට නැවත දැනුම්දෙනතුරු අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

සියලූම රාතී‍්‍ර තැපැල් දුම්රියන්ද ඊයේ සිට නැවත දැනුම්දෙනතුරු අවලංගු කෙරිණි.

මුුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන්වාර 06ක් පමණක් අද සිට ධාවනය කෙරෙන බවත් එම දුම්රියන් කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වා පමණක් මගීන් රැගෙන එන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව එක් දුම්රියක් ගාල්ල දුම්රිය ස්ථානයෙන් අද අළුයම 03.15 ටත්, සාගරිකා දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් අළුයම 04.30 ටත් කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කර තිබේ.

සමුද්‍රදේවී දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයෙන් අද අළුයම 05 ට ගමන් ආරම්භ කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. මුහුදුබඩ මාර්ගයේ දුම්රියන් 03ක් පස්වරුවේද ධාවනය කෙරේ.


එම දුම්රියන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කොල්ලූපිටිය දුම්රිය ස්ථානය දක්වා හිස් දුම්රියන් ලෙස ගමන් කර එහි සිට මගීන් රැගෙන එනු ඇත.


ඒ අනුව සාගරිකා දුම්රිය පස්වරු 04.40 ට බෙලිඅත්ත දක්වාත්, සමුද්‍රදේවී දුම්රිය පස්වරු 05.25 ට ගාල්ල දක්වාත් ධාවනය කිරීමට නියමිතය. පස්වරු 06.10 ට කොල්ලූපිටියේ සිට ගාල්ල දක්වා තවත් දුම්රියක් ධාවනය කෙරේ.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර 12ක් ධාවනයට එක්කර තිබේ.

ඒ, අනුව ප‍්‍රධාන මාර්ගයේ දුම්රිය 08ක් සහ හලාවත මාර්ගයේ දුම්රිය 04ක් ධාවනයට එක් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය. ප‍්‍රධාන මාර්ගයේ එක් දුම්රියක් පෙරවරු 05.25ට රඹුක්කන සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළේය.

තවත් දුම්රියක් අද පෙරුවරු 06.25 ට පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.


අළුයම 04.50 ට හලාවත සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරිණි. පෙරවරු 05.41 කොළඹ කොටුව සිට හලාවත බලා දුම්රියක් ධාවනය කෙරුණු බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.


පෙරවරු 11.17ට හලාවත සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරේ. එමෙන්ම පස්වරු 12.45 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වාත්, පස්වරු 01.25 ට කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වාත් දුම්රිය ධාවනය කිරීමට නියමිතය.


පස්වරු 03.45 ට කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා තවත් දුම්රියක් ධාවනය කෙරේ. පස්වරු 04.50 ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා දුම්රියක් ධාවනය කිරීමට නියමිත බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

එමෙන්ම පස්වරු 04.25 ට රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා තවත් දුම්රියක් ධාවනය කෙරෙන අතර පස්වරු 04.30 ට කොළඹ කොටුවේ සිට හලාවත් දක්වා දුම්රියක් ධාවනය කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මෙම සියලූ දුම්රියන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ධාවනය කෙරෙන බවත් එමෙන්ම අලූත්ගම – ගාල්ල, ගාල්ල – බෙලිඅත්ත, පොල්ගහවෙල – මහව සහ නාවලපිටිය කොට්ඨාශයේත්, අනුරාධපුර කොට්ඨාශයේත් සියලූම කෙටි දුම්රියන් නියමිත පරිදි ධාවනය කෙරෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ කාර්යය මණ්ඩලය වෙනුවෙන් දුම්රිය සහ බස් රථ යොදා ඇති බැවින් බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.