COVID-19 වසංගතයේ පළමු වැනි රැල්ල අතරතුර ඉතාලියේ වඩාත්ම පීඩාවට පත් කලාපය ලෙස සැලකුණු ලොම්බාඩි ආශ්‍රිතව යළිත් ආසාදිතයන් ඉහළ යෑම නිසා තත්ත්වය සමනය කිරීමට ඇඳිරි නීතිය පැනවීමට සුදානම් වෙයි. 

ඒ අනුව ඇඳිරි නීතිය ඇරඹෙන බ්‍රහස්පතින්දා සිට සියලුම ක්‍රියාකාරකම් සහ ප්‍රසිද්ධියේ ගමන් කිරීම රාත්‍රී 11.00 සිට අලුයම 5.00 දක්වා නතර කෙරෙන අතර, ආහාර සහ මූලික පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන

වෙළෙඳ සැල් හැර සති අන්තයේ සාප්පු සංකීර්ණ වසා දැමීමටද ප්‍රාදේශීය බලධාරීන් එකඟ වී තිබේ.

සුප්‍රකට මිලාන් නගරයද අයත් වන ලොම්බාඩි කලාපයේ මිලියන 10කට වැඩි ජනතාවක් ජීවත් වෙයි. නව කොරෝනා වෛරසයේ පළමු වැනි රැල්ලේදී මෙම කලාපය තුළ විශාල බලපෑමක් ඇති කළ අතර, බොහෝ දෙනා එය යුරෝපයේ වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වීමටද හේතු විය. විශේෂයෙන්ම එම අවස්ථාවේදී ඉතාලියේ වැඩිහිටි ජනගහනය දැඩි ලෙස පීඩාවට පත්විය.

ලොම්බාඩි කලාපයට පැනවෙන ඇඳිරි නීතිය කොපමණ කාලයක් පවතිනු ඇතිද සහ එය බලාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ විස්තර ඉදිරි නියෝගයකින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවත්, රජයේ නවතම නියෝගය යටතේ, ප්‍රාදේශීය පරිපාලනයන්ට තම ප්‍රදේශය සඳහා ලොක්ඩවුන් කිරීම් සහ ඇඳිරි නීතිය පැනවීමට බලය පවරා ඇති බවත් ඉතාලි රජය පවසා සිටියි.