මීරිගම බෝතලේ ප්‍රදේශයේ දී 14 දා රාත්‍රී යතුරුපැදියක් පොල් ගසක හැපීමෙන් තිස්හය හැදී තරුණයකු මරණයට පත්ව ඇතැයි මිරීගම පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ අඹේපුස්ස  බෝතලේ මැදගම අන්නාසිවත්ත පාරේ පදිංචිව සිටි නලින් ද දුෂාන්ත අභයකෝන් නමැති 36 හැවිරිදි අවිවාහකයෙකි.  මියගිය අය ලෙඩකු බැලීමට ගොස් කීනදෙණිය ප්‍රදේශයේ සිට නිවස බලා එන අතර බෝතලේ ප්‍රදේශයේ පාරේ වංගුවක් ගන්නා අවස්ථාවේ දී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන අසල ඉඩමක එහි පොල් ගසක වැදී ඇතැයි පොලිසිය මූලික පරික්ෂණවල දී හෙළි කරගෙන ඇත.

ඔහු අනතුරට පත්ව ඇත්තේ නිවස පේනතෙක් මානයේ දී බව ද පොලිසිය කියයි. අනතුරෙන් තුවාල ලැබූ තරුණයා ඒ අවස්ථාවේදීම  මීරිගම මූලික රෝහල වෙත ඇතුළත් කරනු ලැබ ඇතත් එහි දී මියගොස් ඇති බව පොලිසිය කියයි.  යතුරුපැදියට ද බරපතළ හානි සිදු වී ඇති බව පොලීසිය  සඳහන් කරයි.


මියගිය අයගේ දේහය පිළිබඳ මරණ පරික්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණය මිරීගම මූලික රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.  මිරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණි වීරවර්ණ මහතා ඇතුළු නිලධාරිහු පරික්ෂණ පවත්වති.

-පුෂ්පකුමාර මල්ලවආරච්චි-