ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පිඨයක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසිය. මෙරට අවශ්‍ය  වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කළ යුතු බව ද  අමාත්‍යවරයා සඳහන්  කළේය.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දීය.  ගතානුගතික පාඨමාලාවලින් බැහැරව නව අකෘතිගත  වෛද්‍ය පීඨයක් උඋව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව පිහිටුවීම ඵලදායී බව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආරම්භයේ දී මෙම පීඨය වෙනත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට අනුබද්ධ පීඨයක් ලෙස පවත්වා ගෙන යාම සුදුසු බව ද අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසිය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ සෙසු  වෛද්‍ය පීඨ අතර සාකච්ඡා කර මෙම විද්‍යා පීඨය ස්ථාපිත කිරිම සඳහා අදාළ යෝජනා මාසයක් ඇතුළත සකස් කරන ලෙස ද අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී උපදෙස් දුන්නේය.  මෙම සාකච්ඡාවට එක් වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, ඌව  වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදෙන ලෙස තමන් මෙම සරසවිය පිහිටු වූ දින සිට දිර්ඝ කාලයක් ඉල්ලීම් කළ බවයි.


ගුණාත්මක අතින් ඉහළ පාඨමාලා නිසා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සම්පූර්ණ කරන සෑම  අයෙකුටම රැකියා ස්ථිර බවට ඉහළ පිළිගැනීමක් පවතින බව ද ඇමතිවරයා කීවේය.  මෙම විශ්වවිද්‍යාලයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සම්පූර්ණ කර ඇති බවත්, එය පුළුල් කිරීම සඳහා අවශ්‍ය අතිරේක ඉඩම් ද වෙන් කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය. වෛද්‍ය පීඨයේ සායනික කටයුතු සඳහා සියලු පහසුකම්වලින් සමන්විත බදුල්ල රෝහල ද හෙද විදුහල ද ඇති බව කී අමාත්‍යවරයා පරිවාරයේ ඇති මහියංගන, දියතලාව සහ වැලිමඩ රෝහල් ද එහි සායනික කටයුතුවලට බද්ධ කර ගත හැකි බව සඳහන් කළේය. 

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්වලින් වසරකට  වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා 150 කු පමණ සමත් වන බවත්, ඒ අයට සිය නිවෙස්වල සිටම සිය වෛද්‍ය උපාධිය හැදෑරිමට මෙමගින් පහසුව සැලසෙන බව මෙහි දී සඳහන් විය.  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ, කරාපිටිය, ජයවර්ධනපුර,වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

-ඩයනා උදයංගනී-