බරපතළ වසංගත තත්ත්වයක් තිබියදීත් 2021 වර්ෂයේ සෞඛ්‍ය වැය ශීර්ෂය රුපියල් බිලියන 20 කින් කපා හැර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවැසීය. ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල පිහිටි එම පක්ෂ කාර්යාලයේ ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

2019 වර්ෂයේ විසර්ජන කෙටුම්පතින් සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 178 ක් වෙන් කළද මෙවර එය රුපියල් බිලියන 158 කට අඩු කර ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

එමනිසා කොවිඩ් වසංගතය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ ඉතාම අසාර්ථක බවත් ජනතා නායකයන් කියාගන්නා දේශපාලකයන් මේ මොහොතේදී කිසිවක් නොවූ ලෙස සිටින බවත් ලේකම්වරයා අවධාරණය කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේද කීය.


‘‘කොවිඩ් වසංගතය නිසා අපි සමාජයක් ලෙස සිටින්නේ කොතැනදැයි අනාවරණය වුණා. අපේ සමාජය විෂමතාව පිරි සමාජයක් බවට අත්දැකීම් ඕනෑ තරම් ලැබුණා. පොලිසිය නිරෝධායන නීති කඩ කළා කියා ගෙදරට හාල් කිලෝවක් ගේන්න කඩේ යන කෙනාගේ ඉඳලා අත්අඩංගුවට ගන්නවා. ඒවා මාධ්‍යවලත් පෙන්වනවා. නමුත් නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කළ ලොකු සමාගම්වලට, ධන කුවේරයන්ට ඒ නීති අදාළ නෑ. සිය සේවකයන් උණ රෝග ලක්ෂණ පෙන්වද්දිත් ඔවුන්ට පැනඩෝල් දිදී වැඩ ගත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ලොක්කන්ට ඒ නීති අදාළ නෑ. තම හෝටලයේ සිටි අයකුට කොරෝනා ආසාදිත බව දැනගත් පසුවත් සේවකයන් නිරෝධායනය නොකර ඔවුන්ව වැඩ නිමවී නිවෙස්වලට පවා යැවූ සීදුව හෝටල් හිමිකරුවාට ඒ නීති නෑ. ඒවා ගැන අහද්දී කියන්නේ පරීක්ෂණ කරනවා කියලා. ඇඳිරි නීතිය පනවද්දී සහ ස්වයං නිරෝධායනය කරද්දීත් ආර්ථික හැකියාව නැති අයට කන්නවත් නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ ගැන රජයේ මැදිහත්වීමක් නෑ. ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අයට සහ ස්වයං නිරෝධායනයේ යෙදෙන පවුල්වලට පමණක් නෙවෙයි, දෛනික ආදායමින් ජීවත් වන, අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ නියුතු රටේ සියලු දෙනාට රාජ්‍ය මැදිහත්වීමෙන් ජීවනාධාරයක් අවශ්‍යයි. ස්වයං රැකියා නියුක්තිකයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාර කරන්නන්ට හා ලීසිං සඳහා මාස කිහිපයක සහනයක් අවශ්‍යයි. ඒ හැම දෙනාගේම ආදායම් බිඳ වැටිලා.

මේ අවස්ථාවේ රජය හැසිරෙන්නේ කොහොමද? මිනුවන්ගොඩ පළමු කොරෝනා රෝගීන් වාර්තා වන ඇසිල්ලේ අනෙක් ප්‍රදේශවලට එය ව්‍යාප්තවීම වළක්වන පියවර ගන්න තිබුණා. එහෙම වුණා නම් මේ විදියට රටපුරාම මෙය ව්‍යාප්ත වෙන්නේ නැහැ. නමුත් සමාගම්වල පීඩනය හමුවේ රජය ආර්ථිකය වහන්න බෑ කියමින් ඒ ප්‍රදේශ අනාරක්ෂිත කළා. නිදසුනක් ලෙස නිදහස් වෙ​ළෙඳ කලාපයේ එක කම්හලක රෝගීන් වාර්තා වෙද්දීත් කලාපය විවෘතව තැබුවා.


මේ ප්‍රශ්නවලදී රජය වැඩ කරන ජනතාවගේ පැත්තෙන් බලන්නේ නෑ. දේශපාලන බලයේ වෙනසක් නැතිව මේ ප්‍රශ්නය විසඳන්න බෑ. අවම වශයෙන් රජය සෞඛ්‍ය සේවය පුළුල් කරන්න මැදිහත් වෙන්නේ නෑ. අද වනවිට මුල්ලේරියාව රෝහලේ ප්‍රධාන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය කැඩිලා. ඒ නිසා පරීක්ෂණ දින ගණන් ප්‍රමාද වෙනවා. සාම්පල දහස් ගණනක් හිර වෙලා. ගුවන් යානයක් ගුවන් ගත කරද්දීත් එන්ජින් දෙකක් භාවිත කරනවා. එකක් ක්‍රියා විරහිත වුණොත් විකල්පයක් ඕන. වසංගතයක් පවතිද්දීත් එහෙම විකල්ප නැහැ. පී.සී.ආර්. යන්ත්‍ර ප්‍රමාණවත් නෑ. මීට වඩා කාර්යක්ෂම, නව තාක්ෂණය සහිත යන්ත්‍රයක්, දෙකක් ගෙන්වන්න කියලා ඉල්ලීම් තිබුණේ මාර්තු මාසයේ ඉඳලා. ඒවාට මුදල් වෙන් කරන්නේ නෑ. කොරෝනා වයිරසය ​බෝවීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නන්ට අවදානම වැඩියි. ඒ නිසා අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කළ යුතුයි. නමුත් කර තිබෙන්නේ කප්පාදුව. 2019 දී පොදු ප්‍රවාහනයට වෙන්කළ රුපියල් බිලියන 69 2021 විසර්ජන පනතේදී බිලියන 41 ට කපලා. ජනතා අරමුදල් ලෝභ නැතිව වෙන් කර තිබෙන්නේ මර්දනයට.’’