ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයා ගැනීම සඳහා ලබාදුන් කාලසීමාව ප්‍රයෝජනයට ගනිමින් බේරුවල, මාලිගාහේන ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක පැවැත්වීමට නියමිතව තිබූ දානමය කටයුත්තක් ඊයේ (29 වැනිදා) බේරුවල පොලිසිය හා සෞඛ්‍ය අංශ එක්ව නවත්වා දැමීය.

පුද්ගලයන් 3000 ක් වෙනුවෙන් මෙම දානමය කටයුත්ත සංවිධානය කර තිබූ අතර,
මේ පිළිබඳ පොලිසිය හෝ සෞඛ්‍ය අංශ

දැනුම්වත් කර නොතිබූ බවද පොලිසිය කීවේය.

පොලිසිය හා සෞඛ්‍ය අංශ අදාළ දේවස්ථානය වෙත යනවිටත් කුකුළන් හා එළුවන් විශාල ප්‍රමාණයක් දානය වෙනුවෙන් ඝාතනය කර ආහාර ලෙස පිළියෙල කර තිබුණි. එමෙන්ම ආහාර පිළියෙල කිරීම සඳහා කෝකිවරුන් 30 දෙනකුද කැඳවා තිබුණි.

පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ අත්තනෝමතික ලෙස කටයුතු කරමින් මෙම දානය සංවිධානය කළ පිරිස සෞඛ්‍ය නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණද, දේවස්ථාන පාලක මණ්ඩලය ඇතුළු සංවිධායකයන් පිරිස කළ වරදට සමාව ඉල්ලා සිටීම නිසා නීතිමය පියවර නොගෙන පිරිස විසුරුවා හරින බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජේ. සිංහබාහු පැවැසීය. ආහාර පිසීම සඳහා පැමිණ සිටි කෝකිවරුන්ටද දැඩි සේ අවවාද කර මුදාහරින ලදී.

ප්‍රසාද් ධර්මප්‍රිය – බේරුවල