ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සඳහා රට පුරා පිහිටි නිදහස් වෙළඳ කලාප දොළහේ සේවය කරන සේවකයන් සියලු දෙනා කෝවිඩ්19 පරීක්‍ෂණයකට ලක් කළ යුතු බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය සඳහන් කරයි.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සේවය කරන සේවකයන් කෝවිඩ්-19 පරීක්‍ෂණවලට ලක් කිරීමට අදාළ පහසුකම ලබාදීමට කර්මාන්තශාලා හිමියන් කැමැත්ත පළ කර තිබුණද, රජය මෙතෙක් ඊට අවසර ලබාදී නොමැති බවද එම සංගමයේ සම කැඳවුම්කරු ඇන්ටන් මාකස් මහතා පැවසීය.

කටුනායක ඇඟලුම් කර්මාන්තශාලා හතරක නිෂ්පාදන කටයුතු නවතා දමා තිබුණද, අනෙකුත් සෑම කර්මාන්තශාලාවක්ම නිෂ්පාදන කටයුතු කරන බවත්, එහෙත් අදාළ කර්මාන්තශාලාවලින් කිහිපයක සේවකයන්ට සේවයට වාර්තා කිරීමට ප්‍රවාහන පහසුකම් නොමැති බවද හෙතෙම පවසා සිටියේය. 

නිරෝධායන ඇඳිරිනීතිය

පවතින ප්‍රදේශවල සිට කර්මාන්තශාලාවලට පැමිණෙන පිරිස්වලට පෞද්ගලික වාහනවලින් ගමන් නොකරන ලෙස උපදෙස් ලබාදී තිබෙන බවත්, මීට අමතරව පොදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක නොවන බවත් ඇන්ටන් මාකස් මහතා සඳහන් කළේය. මේ නිසා ප්‍රවාහන පහසුකම ලබා නොදෙන කර්මාන්තශාලාවල සේවකයන් සේවයට වාර්තා කිරීමේදී විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වී තිබෙන බවද සම ලේකම්වරයා පැවසීය. මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයන්ට කෝවිඩ්-19 ආසාදනය වීම නිසා ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන පිරිස් පිළිබඳ ඇතැම් පිරිස් වැරදි අදහසක් ඇති කර ගෙන සිටින බවත්, මේ නිසා රට පුරා පිහිටි නිදහස් වෙළෙඳ කලාප 12 ඇඟලුම් සේවකයන් කෝවිඩ්-19 පරීක්‍ෂණයට ලක් කළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. 

මෙම කටයුතු සඳහා තම සංගමය පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, මේ නිසා අදාළ කටයුතු කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇන්ටන් මාකස් මහතා සඳහන් කර සිටියේය.

- ඉන්දික හේවාවිතාරණ -