රන්තපුර දිස්ත්‍රික්කය තුළ පවතින පුස්තකාල සහ ළමා උද්‍යාන දනැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පෙරේදා (19දා) රැස්ව වූ රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කළේය.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු රැස්වීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන ආශ්‍රිතව ඉදිරියේ පැවැත්වීමට නියමිත කඨින පින්කම් සහ කෝවිල්වල වේල් උත්සව අවම ජන සහභාගීත්වයක් ඇතිව, තරුණ පිරිස්වලට මුල්තැන දෙමින් පැවැත්වීමටද මෙහිදී තීරණය කෙරුණි.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් නිකුත් කරන උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත්

නැවත දැනුම් දෙනතුරු රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාවට පමණක් ලබාදීමටද ඊයේ (20දා) පැවැති රත්නපුර දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටු රැස්වීමේදී තීරණය කරනු ලැබීය. 

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩකරන පුද්ගලයින් අහඹු ලෙස පී.සී.ආර්. පරික්‍ෂණවලට ලක්කිරීමටද තීරණයවිය. 

මේ දිනවල මාස් කන්නයේ වී වගා කටයුතු ආරම්භ කර ඇති නිසාත් මී උණද රත්නපුර දිස්ත්‍රික්කයේ පැතිරයාමේ අවදානමක් පවතින නිසා මී උණ ප්‍රතිජීවක ඖෂධය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා කන්නමුල රැස්වීම් පැවැත්වෙන ස්ථානවලදී ලබාදීමටත් තීරණය කෙරුණි. 

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සේවා සපයා ගැනීමට පැමිණෙන මහජනතාවගේ නම් සහ ලිපිනයන් සටහන්කරගැනීමටද මෙම දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුවේ දී තීරණය විය.

- අජිත්ලාල් ශාන්තඋදය -