සෞඛ්‍යාරක්ෂිතව මුඛ ආවරණ පැලඳීමකින් තොරව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ රැදී සිටි සහ සේවය කරමින් සිටි ව්‍යාපාරිකයන්, ගොවීන් සහ කම්කරුවන් පනස්දෙනෙකුට වැඩි පිරිසක් 15දා සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි. 

දඹුල්ල පොලීසිය, මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ මෙම වැටලීම සිදු කර තිබේ. දඹුල්ල මූලස්ථාන පොලිස් පරික්ෂක එස්.පී. එදිරිසිංහ මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු සෞඛ්‍ය අංශයේ කණ්ඩායමක් ආර්ථික මධ්‍යස්ථානය තුළ මෙම මෙහෙයුම සිදු කරන ලදී. අනාරක්ෂිතව මෙන්ම නිසි ආකාරයෙන් මුඛ ආවරණ පැලඳීමකින් තොරව රැඳි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවෙන් 70%කටත් වඩා වැඩි ප්‍රමාණයක් හුවමාරු කරන සෑම දිස්ත්‍රික්කයකම ගොවීන්, ව්‍යාපාරිකයන් නිතර ගැවසෙන ස්ථානයක් නිසා මෙය ආරක්ෂා කර ගැනීමේ අරමුණ ඇතිව වැටලීම සිදු කළ බව නගරාධිපති ජාලිය ඕපාත මහතා පැවසීය. 

පසුගියදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් දෙදෙනෙකු මුඛ ආවරණ පැලඳීමකින් තොරව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැළ අසූවකට ගමන් කර තිබෙන බවත්, ඒ අනුව සිදු කරන ලද පී.සී.ආර් පරික්ෂාවලින් රෝගීන් වාර්තා නොවුවද ඉදිරියටත් මෙම ආර්ථික මධ්‍යස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වැටලීම් සිදුකරන බවද දඹුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහ ජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පවසා සිටියේය. මෙහිදී අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසියට භාරදීමට කටයුතු කර තිබේ.

- එස් කරුණාරත්න -