ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සඳහා වන ඡන්ද විමසීම අද සවස 7 න් පසු පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය අද ඡන්දය විමසන විට විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට සහාය දක්වනු ඇති බව රජයේ අමාත්‍යවරයෙක් මාධ්‍ය වෙත අනාවරණය කර තිබේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා

මන්ත්‍රීවරුන් 150 දෙනෙකුගේ සහාය රජයට අවශ්‍ය වන නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එහි හවුල්කාර පක්ෂ වලට පාර්ලිමේන්තුවේ ආසන ඇත්තේ 149 ක් පමණකි.

රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජේදාස රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දීමෙන් වැළකී සිටිය හැකි බවට වාර්තා වන අතර ශ්‍රීලනිප අනෙක් මන්ත්‍රීවරුන්ගේ තීරණයද තවම පැහැදිලි නැත.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී සහාය ලබාගන්නට රජය උත්සාහ කරන්නේ මෙම පසුබිමේය.

“අපගේ මන්ත්‍රීවරුන්ගෙන් කිහිප දෙනෙකු විශේෂයෙන් සුළුතර පක්ෂ නියෝජනය කරන අය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බවට වාර්තා වනවා.” සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් උදෑසන දන්වා සිටියේය.

මේ අතර 20 වන සංශෝධනයට එරෙහිව ජන්දය භාවිතා කිරීමට මීට ප්‍රථම පැවැති කණ්ඩායම් රැස්වීමේදී ගත් තීන්දුව කඩ කරන මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීන්දු කොට තඇති බවද වාර්තා විය.

අද (22) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී ඇති සමගි ජන බලවේගයේ විශේෂ රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇත.

මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂ තීන්දුව කඩකරමින් කටයුතු කරන මන්ත්‍රීවරයෙකු වේ නම් ඔහු හෝ ඇය පක්ෂයෙන් ඉවත් කිරීමට නියත වශයෙන්ම කටයුතු කරන බවයි.