හෝමාගම පොලිස් වසමේ මාගම්මන, දොල්කඩේ මාර්ගයේ නියඳගල වෙල්යායේ කැලෑබද පෙදෙසක මෝටාර් උණ්ඩ  දෙකක් තිබි ඊයේ (13) සොයාගත් බව හෝමාගම පොලිසිය පවසයි.  වෙල්යාය පිරිසුදු
කරමින් සිටි ගොවි මහතකු බෑගයක බහා තිබූ පාර්සලයක් පරික්ෂා කිරීමේදී ඒ තුළ කිසියම් සැක සහිත පාර්සලයක් තිබී හමු වීමත් සමග ඒ පිළිබඳව  පොලිසිය දැනුවත් කර ඇතැයි පැවැසේ. පසුව එම ස්ථානයට හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ප්‍රසන්න මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පැමිණ සැක කටයුතු පාර්සලය පරික්ෂා කිරිමේදී ඒ තුළ මෝටාර් සඳහා භාවිත කරන උණ්ඩ දෙකක් තිබි සොයාගත් බව පොලිසිය කියයි.

මේ දිනවල ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන හෙයින් ඒ පිළිබඳ බියට පත් කිසියම් අයකු මෙම මෝටාර් උණ්ඩ දෙක මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඒ අනුව මෙම උණ්ඩ දෙක අධිකරණ නියෝගයක් හරහා බෝම්බ නිෂ්ක්‍රිය අංශයට භාර දී නිෂ්ක්‍රිය කිරීමට පියවර ගත්නා බව පොලිසිය පවසයි.

-ප්‍රියන්ත ජයලත්-