හෙරොයින් සහ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා නමැත්තාගේ නැගණිය, ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකු සහ ඔවුන්ගේ රියැදුරකු හක්මණ ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී කේරළ ගංජා සමඟ පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව හක්මණ පොලිසිය කියයි.



පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත හක්මණ නගරයේ ලැගුම්හලක් පරික්ෂා කළ අතර එහි වෙලේ සුදාගේ නැගණිය වන දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක සහ ඇයගේ අනියම් සැමියා බව කියන හක්මණ මුරුතමුරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු එහි කාමරයක ලගුම්ගෙන සිටි බවද පොලිසිය කියයි. ඔවුන් පැමිණි මෝටර් රථයේ රියැදුරා එහි තවත් කාමරයක සිට ඇති අතර රියදුරාගේ කාමරයේ තිබි කේරළ ගංජා මිලිග්‍රෑම් 4,940 ක් හමුවූ බවද පොලිසිය පවසයි.

දෙහිවල ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි එම රියැදුරා දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (14) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතතළ බද පොලිසිය සඳහන් කරයි.

වෙළේ සුදාගේ අත්අඩංගුවට ගත් නැගණිය හා ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා පැමිණි මෝටර් රථයද පොලිස් බාරයට ගෙන ඇත.

වෙලේ සුදාගේ නැගණිය සහ ඇයගේ අනියම් සැමියා බව කියන පුද්ගලයා යම්කිසි අපරාධයක් කිරීමට හෝ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ලැගුම්හලක රැඳීසිටියේද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශණයක් සිදු කරන බව පොලිසිය සඳහන් කරයි.