සුගිය සිකුරාදා දකුණු ලන්ඩනයේ ක්‍රොයිඩන් පොලිස් ස්ථානයේ දී පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ඇති කරගත් ශ්‍රී ලාංකික සම්භවය ඇති පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදු කර එරට බෙහෙවින් ගෞරවාදරයට ලක්වූ පොලිස් නිලධාරියෙකුවූ සැරයන් රතානා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
මෙම ඝාතන සංසිද්ධිය එංගලන්තයේ කම්පනයක් ඇති කළ
සිදුවීමක් බවට පත්ව ඇති අතර සියලුම පුවත්පත් සිය මුල් පිටුවල පළකර ඇති සුවිශේෂ සිදුවීමකි. එම විස්තර සමග ඝාතනය සිදු කළ ශ්‍රී ලාංකික සම්භවය සහිත ලුවී ද සොයිසා සම්බන්ධයෙන්ද විස්තර පළ කර ඇත.
ලුවී ද සොයිසා නමැත්තා බී පන්තියේ මත්ද්‍රව්‍ය සහ පතොරම් ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු රිවෝල්වරයක් ඔහුගේ කලිසම තුළ සඟවා ගෙන සිටි බවත් පොලිසියේදී එය එළියට ගෙන වෙඩි තැබීම සිදු කළ බවත් වාර්තාවන අතර එම සංසිද්ධිය ගැන පොලිසිය තවමත් පරීක්ෂණ පවත්වයි.


සැරයන්වරයාට වෙඩි තැබූ පසුව පොලිස් නිලධාරියාගේ සගයන් ඔහුට ප්‍රතිප්‍රහාර එල්ලකර ඇති අතර  සොයිසාගේ බෙල්ලට වැදුණ වෙඩි පහර නිසා බරපතල ලෙස තුවාල ලබා ඔහු මේ වනවිට රෝහල් ගතව සිටී.
අත්අඩංගුවට ගෙන සිටි අවස්ථාවේ  පිටුපසින් දෑත් බැඳගෙන සිටියදී සැකකරු සැඟවුණු ආයුධය ඇද ගැනීමට සමත් වූයේ කෙසේද යන්නත්, 54 හැවිරිදි සැරයන් රතානාගේ පිටුපසට පිටුපසින් දෑත් බැඳගෙන සිටියදී වෙඩි තබා ඝාතනය කළ ආකාරයත් තවම පැහැදිලි නැත.
අයිඕපීසී වාර්තා අනුව දක්වා ඇත්තේ ඔහුව ගොඩනැගිල්ලට ගෙන ගොස් අත්අඩංගුවේ රඳවාගෙන සිටි ස්ථානයක වාඩි වී මාංචු දමා සිටියදී වෙඩි තැබූ බවයි.
මියගිය 54 හැවිරිදි මැට් රතානා මාස කිහිපයකින් පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව සිටි අතර දකුණු ලන්ඩනයේ ක්‍රොයිඩන් භාරකාර මධ්‍යස්ථානයේ වැඩ මුර ලබාගෙන සේවය කළ අයෙකි. ඔහු නවසීලන්තයෙන් බ්‍රිතාන්‍යයට සංක්‍රමණයවූ හිටපු රග්බි පුහුණුකරුවෙකු වන අතර අවස්ථා ගණනාවක කතාබහට ලක්වූ ගෞරවනීය පොලිස් නිලධාරියෙකි.

දකුණු ලන්ඩනයේ නොර්බරි හි  නිවසක වාසය කළ චූදිත ලුවී ද සොයිසා 28 හැවිරිදි අයෙකි. ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණයවූ චන්න ද සොයිසා (55) ඔහුගේ පියා වන අතර ඔහු යෝග ගුරුවරයෙකු බව පැවසේ.ලුවීගේ මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇය එලිසබෙත් ප්‍රාදේශීය හරිත පක්ෂ ක්‍රියාකාරිනියක සහ හිටපු මැතිවරණ අපේක්ෂිකාවකි.

ලුවී විවාහකයෙකු වුවත් විවාහය දෙදරායාමට ලක්වූ අයෙකි. අසල්වැසියන් හැඳින්වූයේ “ඉතා අමුතු” කෙනෙකු ලෙසය.
ලුවී ක්‍රොයිඩන් හි උපත ලැබුවේ ශ්‍රී ලාංකික හා බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති රෝමානු කතෝලික පවුලක ය.
ලුවීට සහෝදර සහෝදරියන් 4 ක් සිටින අතර ඔවුන්ගේ වැඩිමලා ඔහුය.ඔහු සමග නොර්බරි නිවසේ වාසය කරන සහෝදරයා ඔක්ස්ෆර්ඩ් සරසවියේ ශිෂ්‍යයෙකු බවද කියැවේ.
ලුවීගේ පියා හා මව අතරද විවාහ ප්‍රශ්න තිබී 2015 මාර්තු මාසයේදී උසාවි ඉදිරියේ පෙනීසිට සමගිවූ බව පැවසේ.

සාජන් මැට් රතානා ඝාතන සාකකාර ලුවී පාසලේදී ප්‍රචණ්ඩකාරී වීඩියෝ දර්ශන නරඹා ඇති අයෙකු බවත් ගිනි අවිවලට ඇබ්බැහි වී ඇති අයෙකු බවත් බ්‍රිතාන්‍ය බීබීසී ලෝක සේවය වාර්තා කර තිබේ.
හිටපු පාසල් මිතුරෙකු පැවසුවේ ලුවී “හුදෙකලා” නමුත් “අඳුරු වෙබ් අඩවියේ  සිටීම ගැන පුරසාරම් දෙඩීමට පුරුදුව සිටි” අයෙකු බවයි. (පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධ ගනුදෙනු හඳුන්වන අන්තර්ජාල තහනම් අවකාශය එනමින් දැක්වේ)
ලුවී ඩී සොයිසා 2008 සිට 2015 දක්වා කාලය තුළ පර්ලිහි ජෝන් ෆිෂර් ද්විතීයික පාසලට ඇතුළත් විය.
බීබීසී විසින් ලබාගත් පාසැල් හැරයාමේ පොතක දැක්වෙන්නේ සම වයසේ මිතුරන් ලුවී ආයුධ ලෝලියෙකු යැයි විස්තර කර ඇති බවයි.
මිනීමැරුම් වීඩියෝ නැරඹීමට පුරුදුව සිටි බවත් අයිසිස් වීඩියෝ සහ ඒ හා සමාන දේවල් ගැන කතා කළ බවත් ඔහු ගැන විස්තර පළව ඇත. පාසල් කාලයේදී ඔහු ආයුධ නිර්මාණය කිරීමට උත්සාහ කළ බවද කියනු ලැබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇති ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය පවසා ඇත්තේ සැරයන් මැට් රතානාට වෙඩි තැබීම ත්‍රස්තවාදී සිදුවීමක් ලෙස නොසලකන බවයි.