ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් අයිපීඑල් වැඩකටයුතු සඳහා මුම්බායි වෙත පැමිණ සිටියදී මින් දින කිහිපයකට පෙර මියගියේය. ජෝන්ස් සිය හෝටලයේදී හෘදයාබාධයකට ලක්ව මියගිය බව වාර්තා කර තිබිණි.
ඔහු හෝටල් ලොබියේ බ්‍රෙට් ලී සමඟ සිටි බව අවසන් වරට හඳුනාගෙන තිබූ අතර ජොන්ස් ගිලන් රථයක්
මගින් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.
හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස්ගේ බිරිඳ වන ජේන් ජෝන්ස්, තම ස්වාමිපුරුෂයාගේ හදිසි මරණය පිළිබඳව කරුණු කිහිපයක් හෙළිකර තිබේ. විවාහයෙන් වසර 34 කට පසු The Sunday Age වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ජේන් තම නිහඬතාවය බිඳ දැමූයේ 59 හැවිරිදි සිය ස්වාමිපුරුෂයා වන ඩීන් ජෝන්ස් හෘදයාබාධයක් හේතුවෙන් බ්‍රහස්පතින්දා දින මුම්බායිහිදී මරණයට පත්වීමත් සමඟයි.

ඉන්දියාවේදී ඩීන්ගේ මරණය සිදුවුණායැයි අසන්නට ලැබුණු නමුත් එය තමන් හා තම දියණියන් විශ්වාස නොකළ බව පවසන ජේන් එම ආරංචිය හේතුවෙන් ඔවුන් දැඩි සේ කම්පාවට පත් වුණු බවද පවසා ඇත.
ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සත්කාරක විකාශකයා වන ‘ස්ටාර් ස්පෝර්ට්ස්’ සමඟද ඩීන් අදහස් දක්වා තිබුණි. එමෙන්ම ඔහු බදාදා රාත්‍රිය වන තුරුම ස්ටූඩියෝව වෙත ද පැමිණ තිබුණි.
 සිය අවසන් මොහොතේදී ඩීන්ට උපකාර කළ හිටපු වේග පන්දු  ක්‍රීඩක බ්‍රෙට් ලීටද ජේන් එහිදී  සිය ස්තූතිය පුද කර තිබේ.
එමෙන්ම තම ආදරණීය සැමියාගේ මතකයන් ආවර්ජනය කරමින් ඔහුගේ ආදරය හා ශක්තිය සෑම විටම තමන්ව දිරිමත් කළ බවත් දැන් ඔහු අපෙන් සමුගත්ත ද අපූරු මතකයන් රාශියක් සදාකාලිකව පවතිනු ඇති බවත් ඇය පවසා තිබේ. තම ස්වාමිපුරුෂයාගේ අභාවය වෙනුවෙන් ශෝකයයට පත් බොහෝ දෙනා තමන්ට වේදනාව යටපත් කරගැනීමට විශාල සහයෝගයක් ලබාදෙන බවද පවසන ඇය ඒ සම්බන්ධයෙන් සහයෝගීතාවය ලබාදෙමින් පල කරනු ලැබූ පණිවුඩ ඔවුන්ට විශාල සැනසීමක් ලබා දුන් බවද ප්‍රකාශ කර තිබේ.
ඩීන්ගේ අභාවයත් සමඟ ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ආදී බොහෝ රටවල් වල ඔහුට ආදරය කරන පිරිස් ඒ සම්බන්ධයෙන් සිය ශෝක පණිවුඩ ප්‍රකාශ කර තිබීම විශේෂ කරුණක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ බිරිඳ ද සියලු දෙනා දැක්වූ එම ප්‍රතිචාරයන් හේතුවෙන් ඔවුන් පුදුමයට පත් වූ බවත් ඒ සම්බන්ධයෙන් සියලු දෙනාට කෘතඥ වන බවත් පවසා තිබුණි.

මේ වන විට ඉන්දියාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඩීන්ගේ දේහය ඉක්මනින් මෙල්බර්න් නගරය වෙත ගෙන ඒමට එම පවුලට සහාය වන බවද පවසා ඇත. කෙසේවෙතත් මේ මොහොතේදී ඩීන්ගේ පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස ක්‍රිකට් ලෝකයෙන් ඉල්ලා සිටින බවත්, ඩීන්ගේ අනුස්මරණ සැමරුම පිළිබඳ තොරතුරු නියමිත වේලාවට නිකුත් කරන බවත්, එබැවින් ඔහුගේ සමුගැනීම සම්බන්ධයෙන් දැනගැනීමට සෑම කෙනෙකුටම අවස්ථාව හිමිවන බවත් ඔහුගේ බිරිඳ වන ජේන් පැවසා ඇත.

ඩීන් විසින් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 52 ක් සහ එක්දින තරග 164 ක් ක්‍රීඩා කර ඇත. ලොවෙන් සමුගත් ඩීන්ගේ අභාවයෙන් බොහෝ දෙනෙක් ශොකයට පත්වී සිටින මොහොතක ඔහුගේ සම-සාමාජිකයින් සහ මිතුරන් වන බ්‍රෙට් ලී සහ ස්කොට් ස්ටයිරිස් විසින් බ්‍රහස්පතින්දා පැවති පූර්ව තරඟ ප්‍රදර්ශනයේදී ද ඔහුව සිහිපත් කර තිබේ.

රිෂ්මි ඉෂාරා