ලොතරැයිපත් වර්ග ප්‍රමාණය අටේ සිට දහය දක්වා කිසිඳු සොයාබැලීමක් සිදු නොකර වැඩි කිරීම නිසා අලෙවි නියෝජිතයන් හා අලෙවි සහායකයන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය සඳහන් කරයි.
රටේ සංවර්ධනයට අරමුදල් සකස් කිරීම සඳහා ලොතරැයිපත් වර්ග දෙකකින් ආරම්භ කළ වැඩපිළිවෙළ මේ අනුව ලොතරැයිපත් වර්ග දහයක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා කුඩා ඉඩක් සහිත ටිකට්පත් කවුළුව තුළ ටිකට්පත් අලෙවියට තැබීමේදීත් ගැටලු ඇති වී තිබෙන බවත් එම සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹේ මහතා පැවසීය.

දෛනිකව ටිකට්පත් වර්ග 10ක් නිකුත් කිරීම නිසා ඊට අදාළ ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේදී අලෙවි නියෝජිතයන්ට හා අලෙවි සහායකයන්ට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණදීමට සිදුව තිබෙන බවත්, මීට අමතරව ප්‍රතිඵල බැලීමේදී පාරිභෝගිකයන්ට පෝලිම්වල සිටීමට සිදුවන බවත් ඒ මහතා පවසා සිටියේය. මාසය පුරාම ටිකට්පත් මුද්‍රණය කිරීම නිසා පෝය දිනටවත් අලෙවි නියෝජිතයන්ට හා අලෙවි සහායකයන්ට නිදහසක් නොමැති බවත්, මේ නිසා පෝය දිනට අදාළව ටිකට්පත් අලෙවි කිරීම නවතා දැමීමට අදාළ කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

- එච්.අයි. තුෂාර -