රටවල් 10ක ශ්‍රී ලංකා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනකු නැවත විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇතැයි රජයේ තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. 
මෙලෙස යළි කැඳවනු ලැබ ඇත්තේ නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය, කැනඩාව, ස්වීඩනය, ඊජිප්තුව, කියුබාව, නෙදර්ලන්තය යන රටවල සිටින ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ තානාපති කාර්යාල ප්‍රධානීන් කිහිපදෙනකු බව ද සඳහන් වේ.

රජයේ විශ්‍රාමික වයස් සීමාව වන අවුරුදු 60 ඉක්ම වීම නිසා මෙම පිරිස නැවත මෙසේ කැඳවා ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය. ඉදිරි මාසයක් ඇතුළත සේවය අවසන් කර මෙරටට පැමිණෙන ලෙසට රජය ඔවුන්ට දැනුම් දී ඇතැයි ද පැවැසේ.  මේ අතර ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඕස්ට්‍රේලියාව යන රටවල ශ්‍රී ලංකා තානාපති හා මහ කොමසාරිස් තනතුරු ද පුරප්පාඩුව පවතින අතර ඒ සඳහා ළඟදීම සුදුස්සන් පත්කරනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.

-තිළිණි ද සිල්වා-