ප්ලාස්ටික් පයිප්පවලින් පාරුවක් සකස්කර එය යොදාගෙන මන්නාරම් බොක්ක හරහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට පලා ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු අතුළු තිදෙනකු ඉන්දියාවේ තමිල්නාඩු එර්වාඩි වෛරළ ප්‍රදේශයේ දී එරට පොලිසිය විසින් පෙරේදා (7) අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වෙන්නායි තානාපති ආරංචි මාර්ගවලින් පැවසේ.
එලෙස අත්අඩංගුවට ගත් ලාංකිකයා අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අලි නමැති 43 හැවිරිදි අයකු වන අතර ඔහු 2006 දී තමිල්නාඩුවට ගොස් ඇතැයි ද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. ඔහු ඉන්දියාවේ රැඳී සිට ඇති අතර විසා බලපත්‍රය කල් ඉකුත් වුවද ශ්‍රී ලංකාවට නොපැමිණ නීතිවිරෝධී  ලෙස රැදී සිටමීන් තමිල්නාඩුවේ සරණාගත කඳවුරු කීපයක වරින් වර වාසය කර ඇති බවද වාර්තා වේ.

මෙම ලාංකිකයා ඇතුළු තිදෙනා ඒර්වාඩි වෙරළ තීරයේ සිට මන්නාරම් බොක්ක හරහා නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණීමට පෙරේදා උත්සාහ කර ඇති අතර ඒ බව දුටු ධීවරයින් ප්‍රදේශයේ පොලීසියට එය දැනුම් දී ඇතැයි සඳහන් වේ. පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මොහොමඩ් අලි ඔහුගේ සහෝදරයා වන ඉන්දීය පුරවැසිභාවය හිමි 35 හැවිරිදි මොහොමඩ් හසන් නමැත්තා සහ සාහුල් හමිඩ් නමැති ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. තමා යුද සමයේදී තමිල්නාඩුවට පැමිණි බවත්, මේ වනවිට අසනීපව සිටින බවත්, ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැතිකම නිසා නැවත ශ්‍රී ලංකාවට යෑමට තීරණය කළ බවත් ඔහු පොලීසියට පවසා ඇතැයිද චෙන්නායි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

පොලිස් බලධාරින් සැකකාර ලාංකිකයා ඇතුළු තිදෙනා පසුව එරට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් තිදෙනා පුලාල් බන්ධනාගාරයේ රඳවා තබන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ. දනුෂ්කොඩි ප්‍රදේශයේ සිදුවූ ගංජා සහ රන් ජාවාරම්වලට මොවුන් සම්බන්ධ දැයි සොයා පොලීසිය පරික්ෂණ පවත්වන අතරම සැකකරුවන් තිදෙනා ඒර්වාඩි ප්‍රදේශයේ සැගවී සිටියේ කෙසේදැයි සොයා වැඩිදුරටත් පොලිස් පරික්ෂණ පවත්වන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.


-තිළිණි ද සිල්වා-