හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව දකුණ කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවකු ඊයේ (13) සවස 2.30ට පමණ සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.



මෙසේ මිය ගොස් ඇත්තේ උතුරු කළුතර උග්ගල්බඩ ලයිට් පාරේ පදිංචිව සිටි විතානගේ හරිඳු ධනංජය නම් වූ 32 හැවිරිදි අයෙකි. හෙරොයින් මිලි ග්‍රෑම් 1100ක් සමග උතුරු කළුතර පොලිසිය මගින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (13) උදේ 10ට පමණයි.

සිර මැදිරිය තුළ වූ පන් පැදුරේ වාටියට යොදා ඇති ගණකම රෙදි පටියෙන් මොහු ගෙල වැලලාගෙන ඇති බව අනාවරණය වී තිබේ. පොලිස් නිලධාරීන් වහාම මොහුව කළුතර නාගොඩ මහ රෝහලට ගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔහු මිය ගොස් තිබුණි. කළුතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියංක සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ පැවැත් වේ.