ක්‍රිකට් තරඟාවලියක් සදහා එළඹෙන 27 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙරටදී දින 14ක් අනිවාර්‍ය නිරෝධායනයකට යොමු විය යුතු බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප කළ විමසුමකදී පැවසීය.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළ බවත්, සෞඛ්‍ය අංශ ලබාදෙන නිර්දේශයන්ට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වූ බවත් සුදත් සමරවීර මහතා සඳහන් කර සිටියේය. ඒ අනුව ඉදිරියේදී නිරෝධායනය සඳහා අවශ්‍ය නිර්දේශ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදීමට කටයුතු කරන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි නිෂාමුදීන් චවුද්‍රි මහතා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙරේදා (12දා) සඳහන් කර සිටියේ මෙරටදී බංග්ලාදේශ කණ්ඩායම දින 07ක කාලයක් පමණක් අනිවාර්ය නිරෝධායනයකට යොමුවීම ප්‍රමාණවත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ට දැනුම් දී ඇති බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වා තිබූ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීතුමා, "අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කළ අවසන් දුරකථන සාකච්ඡාවේදී ඔවුන් සඳහන් කර සිටියේ, බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි පසු දින 07ක කාලයක් නිරෝධායනය විය යුතු බවත්, ඉන් පසුව ක්‍රීඩකයන්ට පුහුණුවීම් ආරම්භ කළ හැකි බවත්ය. දින 07ක කාලයක් පමණයි නම් නිරෝධායනය විය යුත්තේ අපට අපේ සැලසුම් අනුව කටයුතු කරගෙන යන්න පුළුවන්.

නමුත් වැඩියමක් ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන අවසන් ප්‍රතිචාරය තෙක් අප බලා සිටිය යුතුයි. අපේ විදෙස් පුහුණුකරුවන් කෙළින්ම කොළඹට පැමිණ බංග්ලාදේශ කණ්ඩායම සමඟ එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔවුන් සම්බන්ධයෙන් කෙසේ කටයුතු කරන්නේද යන්න අප දැනගත යුතුයි. අපි හිතනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දින දෙකක් හෝ තුනක් ඇතුළත අපට ඒ සම්බන්ධයෙන් දැනුම් දේවි කියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, එරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව අපව දැනුවත් කරලා තියෙනවා. ඒ වග්ම අනිවාර්ය නිරෝධායන අවශ්‍යතා මොනවාද යන්නත් ඔවුන් සාකච්ඡා කරමින් සිටිනවා කියලත් සඳහන් කළා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරෝධායන අවශ්‍යතා හැකි තරම් අඩු කරගන්න උත්සාහ කරන බවත් සඳහන් කළා. නමුත් මෙය ගෝලීය වසංගතයක්” යැයි පැවසීය.

මේ අතර පසුගිය කාලසීමාව තුළ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුටම 'කෝවිඩ්-19' වෛරසය ආසාදනය වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය.