රජයේ ආයතන සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීම වසර දෙකකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන්ට, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්ට මුදල් අමාත්‍යංශය විසින් මේ බව පසුගිය දා දැනුම් දී තිබේ.



පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට ගෙනයාම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇතැයි ද වාර්තා වේ. පෞද්ගලික ගොඩනැගිලිවල රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑමෙන් රජයට දැරීමට සිදුවන අධික පිරිවැය අවම කර ගැනීම රජය මෙම තීරණය ගැනීමට හේතු වී ඇත.

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන රාජ්‍ය ආයතන සඳහා රජයට මාසිකව රුපියල් කෝටි 10ට අධික මුදලක් වැයවන බවත් නව තීරණය මඟින් එම මුදල ඉතිරි කර ගැනීමට හැකිවන බවත් රජයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ වනවිටත් පෞද්ගලික ගොඩනැගිලිවල ස්ථාපිත කර තිබූ අමාතාශ ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් රජයේ ගොඩනැගිලිවලට ගෙනගොස් ඇති අතර ඉතිරි ආයතන සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම මේ වනවිටත් ආරම්භ කර ඇතැයි ද වාර්තාවේ.

එමෙන්ම අමාත්‍යාංශවල හා රාජ්‍ය ආයතනවල දැනට භාවිතයේ ඇති වාහන අලුත් වැඩියාකොට භාවිතයට ගන්නා ලෙස ද ජනාධිපති ලේකම් කාර්යාලය ආමාත්‍යාංශවලට හා රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි රජයේආරංචි මාර්ග සඳහන් කරයි. එමෙන්ම අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනවල සියලුම අනවශ්‍ය වියදම් කප්පාදු කර එම මුදල් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවන් වෙනුවෙන් වැය කරන ලෙස ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

- නාලක සංජීව දහනායක -