ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සිදු කිරීමට හා තැපැල් ප්‍රවාහනය සඳහා නවතම ගුවන් සේවයක් ලියාපදිංචිය සඳහා ඉදිරිපත්වී ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වාර්තා කර තිබේ.
සිවිල් ගුවන් සේවා පනත හා ඊට අදාළ රෙගුලාසි හා කොන්දේසිවලට අනුකූලව ගුවන් මෙහෙයුම් සහතික පත්‍රය ලබා ගැනීම සඳහා
එම සමාගම පසුගිය සැප්තැම්බර් 04දා අදාළ ඉල්ලුම් පත්‍රය අධිකාරිය වෙත එවා තිබේ.

මෙම ඉල්ලුම් පත්‍රයට අනුව ෆ්ලයි ලංකන් ඒෂියා (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන්නේ සිවනාතන් සිවරාස, කේ.එම්.ඩී.එස්.එන්. රණවීර, ඩී.ජේ.ජී.එස්. එදිරිසිංහ, එන්.ජේ. විරකෝන් යන මහත්වරුන්ය.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී තේමිය අබේවික්‍රම මහතා මහජනතාවට ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් නව ලියාපදිංචිය ගැන කරුණු හෙළි කර ඇත.
මගීන් සහ තැපැල් ප්‍රවාහනය සඳහා අභ්‍යන්තර විධිමත් ගුවන් ප්‍රවාහන සේවයක් සහ මගීන්, නැව් භාණ්ඩ සහ තැපැල් ප්‍රවාහනය සඳහා අන්තරිජාතික විධිමත් ගුවන් ප්‍රවාහන සේවාවක් රට තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය බව දක්වමින් අදාළ ලිපිය මගින්  ෆ්ලයි ලංකන් ඒෂියා (පෞද්) සමාගම සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇත.

රත්මලාන, බොරුපන පාර, වළගම්බා මාවත,  අංක 07 යන ස්ථානයේ මෙම සමාගම පිහිටා තිබේ.
මෙම අයදුම්කරුවන්ගේ යෝග්‍යතාවය සංස්ථාපිත ක්‍රියාමාර්ගනුකූලව පරීක්ෂා කර බලා මෙම ඉල්ලුම්පත්‍රය සහතික කිරීම 2020 ඔක්තෝබර් මස 13 වැනි දිනට පසුව තමන් විසින් ආරම්භ කිරීමට නියමිත බවද සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් තේමිය අබේවික්‍රම මහතා පවසයි.