මෙරට සිදු කෙරෙන ගව ඝාතනය නතර කළ යුතු බවට මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව ගණනාවක් කලක පටන් ඉල්ලීම් කළත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ක්‍රියාත්මක නොවූ අතර, අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සබ්බන්ධව අවධානය යොමු කර ගව ඝාතනය නතර කිරීමට අවශ්‍ය කටයුතු සලසන බව ප්‍රකාශ කිරීම
අගය කරන බව මල්වතු අස්ගිරි අනුනාහිමිවරු පවසති.  ගව ඝාතනය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් කිරිම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරිම සම්බන්ධව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන තිබෙන තීරණයට පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව සියලු දෙනාගේ සහාය ලබා දිය යුතු බව ද මහානායක හිමිවරු කියා සිටිති.

බුදුන් වහන්සේ දායක ඇත්තන්ට කළ ධර්ම දේශනාවේ අඩංගු පන්සිල් පද පහේ  පළමු වැන්නේ ප්‍රාණ ඝාතනයෙන් වැළකීම යැයි ද දිඹුල්කුඹුරේ විමලධම්ම මතුව පාර්ශ්වයේ අනුනාහිමියෝ සහ වේඩරුවේ  උපාලි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ   මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළහ.  මෙහිදී අදහස් දැක්වූ වේඩරුවේ අනුනාහිමියෝ මෙසේ පැවැසූහ. බෞද්ධ දරිශතය සුරක්ෂිත රටක අහිංසාව  පෙරදැරිව පාලකයන් කටයුතු කළ යුතු අතර, අගමැතිවරයා එම ප්‍රතිපත්ති සමග බද්ධව ක්‍රියාකරමින් ගව ඝාතනය නතර කිරීමට පියවර ගැනීම සම්බන්ධව සතුටු වෙනවා.  අහිංසාව පෙරටු කරගෙන රට පාලනය කිරිම දස රාජ ධර්මයන්ගෙන් එකක්.

පොලොන්නරු යුගයේ නියමිත සඳකඩ පහණේ ගව රුපය දක්වා නොමැත්තේ ගවයා කෙරෙහි අතීතයේ පටන් අප සමාජයේ පවත්නා ගෞරවය ඉස්මතු කිරිමටයි. බුදුන් වහන්සේ දෙසු ධර්මය අහිංසාව මුල්කරගත් දහමක් බවත්, සෑම සත්වයකුම මරණයට මෙන්ම හිංසාවටද බය බවත්, මෙය අප තේරුම් ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කරති. දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියෝ අදහස් දක්වමින්, රටට එක නීතියක් ගෙන ඒමට ජනපති හා අගමැති කටයුතු කරමින් සිටින බවත්, එය අගය කරන බවත් පැවසූහ.

-චමිල් රූපසිංහ-