බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ  ඇන්ට්‍රා-සෙන්කා ඖෂධ සමාගම එක්වී,  නව කොරෝනා වයිරසයට එරෙහිව නිපදවූ එන්නත, අවසන් අදියරේ සායනික පරියේෂණවලදී අසාර්ථක ප‍්‍රතිඵල පෙන්නුම්
කර තිබේ.  එන්නත අත්හදා බැලීමේ මූලික පර්යේෂණවලදී එය සියයට සියයක් සාර්ථක බවත් අනතුරුදායක ආකාරයේ අතුරු ආබාධ කිසිවක් වාර්තා නොවුණු බවත් ඔක්ස්ෆර්ඩ්   වෛද්‍ය පර්යේෂකෙයන් පෙන්වා දී තිබුණි. ඒ අනුව, මෙම එන්නත සම්බන්ධයෙන් ලොව රටවල් බොහොමයක් බලාපොරොත්තු දල්වාගෙන සිටියේය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇන්ට්‍රා-සේන්කා ඖෂධ සමාගම පර්යේෂණ මට්ටමින් එන්නත නිර්මාණය කළේ,  කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වමින්, වයිරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තියක් ඇති කිරීමටය.


බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව, කොරෝනා වයිරසය ඔඩුදුවා ඇති තවත් රටවල් වන ඇමෙරිකාවේ, බ්‍රසීලයේ සහ දකුණු අප්‍රිකාවේ ද එන්නත සායනික වශයෙන් අත්හදා බැලීම සිදු විය.  ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී එන්නත ලබා ගත් පිරිස දහස් ගණනකි. එන්නත ලබා ගැනීමෙන් පසු ඔවුන් උණ සහ හිසරදයෙන් පෙළුණු නමුත්, පැරසිටමෝල් භාවිතයෙන් උණ සහ හිසරදය සමනය කර ගැනීමට හැකි වුණු බවත් එය සාමාන්‍යයෙන් අපේක්ෂා කළ තත්වයක් බවත් වෛද්‍ය පර්යේෂකයෝ මීට මාස කිහිපයකට පෙර පැහැදිලි කළහ. එදා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියා සිටියේ ඔක්ස්ර්ෆඩ් එන්නත සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට හැකි බවය.

ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මැදිහත් වී, ඔස්ට්‍රේලියානුවන්ට ඔක්ස්ෆර්ඩ් එන්නත ලබා දීමට ඇන්ට්‍රා-සෙන්කා ඖෂධ සමාගම සමග ගිවිසුමක් ඇති කර  ගත්තේය. කෙසේ නමුත් ඊයේ (9) ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් මෙන්ම ඇන්ට්‍රාසෙන්කා ඖෂධ නිෂ්පාදන සමාගම ද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, සායනික පරික්ෂණ යටතේ එන්නත ලබාගත් කිහිපදෙනකු අනපේක්ෂිත ආකාරයට රෝගී වී සිටින බවය. එන්නතක් අත්හදා බැලීමේ දී අප සායනික පර්යේෂණ සිදු කරන්නේ එන්නත් ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් පැය 24 පුරාවට විමසිලිමත් වෙමින්. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම එන්නත ලබා ගන්නේ එහි ඇති අනතුරුදායක ස්වභාවය වටහා ගන්නා අයයි. වයිරසයක් ආසාදනය වීම වැළැක්වීමට එන්නතක් නිපදවනේ, එම වයිරසයේ සාල යොදා ගනිමින්.

එන්නත ලෙස සිරුරට වයිරසයේ හානිකර නොවන කොටස් ඇතුළු කරනවා. උණ, හිසරදය ආදිය සාමාන්‍යයෙන් ඇතිවන සංකූලතා. ඒත්, බරපතළ රෝගී තත්වයන් වාර්තා වෙනවා නම්, එය අනතුරුදායකයි. අපගේ එන්නත සම්බන්ධයෙන් සිදු  කළ අවසන් අදියරේ සායනික පරියේෂ්ණවලදී එන්නත ලබා ගත් කිහිප දෙනකු අබිරහස් ආකාරයට රෝගී වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප පුළුල් විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනය අවසන් වෙනතුරු එන්නත අදා බැලීම් සියල්ල නවත්වනවා යැයි ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් සහ ඇන්ට්‍රාසෙන්කා ඖෂධ නිෂ්පාදන සමාගම පැහැදිලි කළේය.