ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසට යහපාලන රජයට බල කරමින් ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ
උද්ඝෝෂණයකට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් සිය ඇසකට හානි වී සදාකාලික අන්ධභාවයට පත් වීම හේතුවෙන් තමන්ට රුපියල් කෝටියක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවෙකු විසින් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන වසරේ මැයි මස 04 වැනිදා සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15දා) තීරණය කළේය.

යුද්ධයේදී මෝටාර් ප්‍රහාරයකින් බෙල්ලට සිදු වූ තුවාලවලින් අනතුරුව සේවයෙන් විශ්‍රාම ගන්වන ලද පෙත්සම්කාර රණවිරුවා ඇතුළු රණවිරුවන් පිරිසක් සිය විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් පැවැත්වූ උද්ඝෝෂණයට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පුර්ණයෙන්ම අන්ධ වූ බව පවසමින් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමට වගඋත්තරකරුවන් පිරිසක් එක් කිරීමටද අවසර දුන්නේය. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මීට පෙර නම් කොට සිටි එවකට කොළඹ කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත් ගුණරත්න, පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරීවරයා, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, එවකට නීතිය හා සාමය ඇමතිවරයාව සිටි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයාට අමතරව වැඩ බලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ යන අයද නම් කිරීමට පෙත්සම්කරුට අවසර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලද අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස අවසර දුන්නේය.

මාතර ප්‍රදේශයේ පදිංචි ආබාධිත සෙබළෙකු වන කම්කානම්ගේ නිශාත්ත මිහිරාජ් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ලාස් කෝප්‍රල්වරයෙකු ලෙස කටයුතු කළ තමා එල්ටීටීඊ සංවිධානය සමග පැවැති සටනකදී 1990 එනම් මැයි 26 වෙනිදා මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල ලැබූ බවත්, එලෙස වැදුණු මෝටාර් උණ්ඩ කැබලි තවමත් සිය ගෙලේ පවතින බවත් සඳහන් කරන පෙත්සම්කරු වෛද්‍ය හේතුන් මත 2009 ඔක්තෝබර් මස විසි නවවැනිදා තමා විශ්‍රාම ගන්වනු ලැබූ බව පෙත්සමෙහි සඳහන් කරයි.

එමෙන්ම තමා මාතර දිස්ත්‍රික් රණවිරු එකමුතුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවද පෙත්සම්කරු සඳහන් කොට ඇත. වසර 12කට අඩු සේවාවක් ඇති ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණද, එවකට පැවැති යහපාලන ආණ්ඩුව එම විශ්‍රාම වැටුප් ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් විශ්‍රාම වැටුප් ලබා දෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවන් ගාලුමුවදොරදී උද්ඝෝෂණයක් සිදුකළ බවත්, කොළඹ කොටුවේ සිට උඝෝෂණ ස්ථානයට යන අතර පොලීසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු එලෙස එල්ල කළ කඳුළු ගෑස් උණ්ඩයක් සිය වම් ඇසට වැදීමෙන් බරපතළ තුවාල ලැබූ බවද සඳහන් කොට ඇත. කඳුළු ගෑස් උණ්ඩයක් සිය වම් ඇසට වැදීම හේතුවෙන් තමන් සදාකාලික අන්ධභාවයට පත් වූ බව සඳහන් කරන පෙත්සම්කරු ඉන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි සඳහන් කරන්නැයි ඉල්ලා සිටියි.

තමන්ට එලෙස කෘෘර ලෙස සැලකීම හේතුවෙන් වගඋත්තරකරුවන්ගෙන් තමන්ට රුපියල් කෝටියක වන්දියක් අය කර දෙන්නැයිද ඔහු ඉල්ලා සිටියි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ලබන වසරේ මැයි මස 04 වැනිදා විභාග කිරීමට තීරණය කළේය.

-බුද්ධිමාල් රුබේරු -