ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 25දෙනෙකු නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරික්ෂා කර ඇති බව එරට රජයේ නිලධාරින් වාර්තා කරයි.
මාස හයකට පසු සඳුදා නැවත පාර්ලිමේන්තුව විවෘත කිරීමට පෙර නීති සම්පාදකයන් පරික්ෂාවට ලක්කළ අතර, පරීක්ෂණයෙන් නිදහස් වූ මන්ත්‍රීවරු මුඛ ආවරණ පැලඳ, වීදුරු කොටු සහිත ආසනවල වාඩි වී කෙටි කාලයක් සිය කටයුතු කළහ.

ආසාදිත මන්ත්‍රීවරුන් 25 දෙනාගෙන් වැඩි දෙනෙකු පාලක භාරතීය ජනතා පක්ෂයට අයත් බවත්, මේ අතරින් බහුතරයක් 545 දෙනෙකුගෙන් යුතු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ හෝ ලෝක් සභාවේ සාමාජිකයන් බවත් සඳහන් වෙයි. මේ අතර, ගෙවීගිය දිනයේ ඉන්දියාව මෙම සතියේ වාර්තතා කළ අවම ආසාදිත අගය වාර්තා කළ අතර, එය දැක්වුණේ 83,809ක් ලෙසිනි. කෙසේ වෙතත් එදින වෛරසය ආශ්‍රිත මරණ 1,054ක් වාර්තා වී ඇති අතර, මේ සමග සමස්ත මරණ සංඛ්‍යාව 80,776 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වනවිට සමස්ත ආසාදිත අගය මිලියන 5ක සීමාවට පැමිණ ඇති අතර, එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. මේ අතර ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව ලොව වැඩිම සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

මීට අමතරව, මාර්තු මාසයේ සිට COVID-19 ආසාදිත වීමෛන් සෞඛ්‍ය සේවකයින් 155 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශය නිවේදනය කරයි. විපතට පත්වූවන්ගේ පවුල්වලට රක්ෂණ සහන සැලසීම සඳහා මෙම දත්ත නිකුත් කර තිබේ. මහාරාෂ්ටප්‍රාන්තයේ වෛද්‍යවරු 6 දෙනෙකුද ඇතුළුව වැඩිම සෞඛ්‍ය සේවක පිරිසක් මියගොස් ඇති අතර, එය 21කි. මාර්තු මාසයේ සිට ඉන්දියාව පුරා වෛද්‍යවරුන් 64 දෙනෙකු වෛරසයට ගොදුරුව ඇති බව එම දන්ත වැඩිදුරටත් පෙන්වා දෙයි.