බලන්ගොඩ වැලිපත අංක 08 ප්‍රදේශයේ වාරිමාර්ග ඇළෙහි තිබී ඊයේ (14දා) උදැසන මළසිරුරක් සොයාගත් බව කල්තොට පොලීසිය පවසයි. එම ප්‍රදේශයේම පදිචි ඒ.ඩී. ප්‍රේමසිරි (39) නමැති දෙදරු පියෙකුගේ මළසිරුර මෙසේ සොයාගෙන ඇත. මළ සිරුර සොයාගන්නා අවස්ථාවේ ඒ මත පාපැදියක්ද තිබිණි.



පෙරේදා (13දා) රාත්‍රී 11.00ත් ඊයේ (14) අලුයම 6.00ත් අතර මෙම මරණය සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි. ඊයේ දහවල් බලන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ඒ.එම්.එස්. මැණිකේ මහත්මිය පැමිණ මූලික පරික්ෂණ සිදු කළ අතර මළසිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා බලන්ගොඩ මූලික රෝහල වෙත ගෙන යාමට පොලිසියට නියෝග කළාය.

රත්නපුර පොලිස් අපරාධ ස්ථාන පරික්ෂක නිලධාරින් නිල සුනඛයන් රැගෙනවිත් අදාළ ස්ථානය පරික්ෂාවට ලක් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ සහකාර පොලිස් අධිකාරි ඩබ්.කේ.පී.අශෝක කුමාර මහතාගේ උපදෙස් පරිදි කල්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.ඩබ්.ටී.එස්. හපුගස්වත්ත මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.