ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ව්‍යාප්තව පවතින නව කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දක්වන හැසිරීම එරට ජනතාවගෙන් 65%ක් පමණ දෙනා අනුමත නොකරන බව අලුත්ම ජනමත විමසුමකින් අනාවරණය කෙරී ඇත. ඒ අනුව ඔහුගේ මෙම හැසිරීම අනුමත කර ඇත්තේ 35%ක පමණ පිරිසක් පමණි.



එරට ABC News රූපවාහිනී නාලිකාව සහ lpsos එක්ව මෙම ජනමත විමසුම සිදුකර තිබේ. ඒ අනුව මෙම මත විමසුම සඳහා සම්බන්ධ කරගත් ඇමෙරිකානුවන්ගෙන් තුනෙන් දෙකකට වඩා වැඩි පිරිසක්, ජනපතිවරයා නව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන වේගය මන්දගාමී බව සඳහන් කර තිබේ. එසේම තවත් තුනෙන් දෙකක පිරිසක් වෛරසයට එරෙහිව ට්‍රම්ප් පිළිබඳව විශ්වාසයක් නොමැති බව පවසා තිබේ.

මෙලෙස නව කොරෝනාව හැසිරවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් වෙත හිමිවී ඇති අඩු ලකුණු සංඛ්‍යාවත් සමග ඔහුගේ මීළඟ ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙතද බලපෑම් එල්ල කර ඇතැයි සඳහන් වෙයි. මේ අතර ජනපති ට්‍රම්ප් පසුගියදා සහභාගි වූ ජනහමුවකදී යළිත් වරක් මෙම වසංගතයේ ඇති දරුණු බව ජනතාවට ඒත්තු නොගන්වමින්, එය ඉතාමත් හොඳින් සහ වේගවත්ව පහව යමින් පවතින බව සඳහන් කර තිබේ. මේ අතර ජනපති ට්‍රම්ප් පසුගිය ඉරිදා දිනයේදී නෙවාඩා ප්‍රාන්තයේදී ගෘහස්ථ රැළියක් සංවිධානය කරමින් දැනට එම ' ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් පනවා ඇති නව කොරෝනා සීමාකිරීම් උල්ලංඝණය කිරීමට කටයුතු යෙදු බව විදෙස් මාධ්‍ය පවසයි.

එහි පිහිටි ගබඩා ගොඩනැගිල්ලක මෙම හමුව පැවැත්වී තිබේ. දහසකට ආසන්න ට්‍රම්ප් ආධාරකරුවන් ඒ සඳහා සහභාගි වී ඇත. එහිදී ඔහු සිය තීරණය සම්බන්ධයෙන් පෙනී සිටිමින් නෙවාඩා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා වෙත මෙන්ම සිය ජනපති සටනේ ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් වෙතද චෝදනා එල්ල කර තිබේ.

එසේම නෙවාඩා ප්‍රාත්තය ලබන ජනපතිවරණයේදී බයිඩන්ට එරෙහිව ඡන්දය ලබාදීමේ වැදගත්කමද ඔහු මෙහිදී පෙන්වා දී ඇත. "සමහර විට හුඟ දෙනෙක් මට අකමැති නිසා බයිඩන් දිනවන්න පුළුවන්. ඔවුන් කැමති, නැහැ මගේ පෞරුෂත්වයට. මම කැමති නැහැ ඒ දේ කියන්න. හැබැයි මම තමයි ඉදිරි වසර හතරටත් ඔබලාට අවශ්‍ය දේ.” ට්‍රම්ප් පවසා ඇත.

කෙසේ වෙතත් මෙම රැළිය අවස්ථාවේදී ඊට සහභාගි වූ කිසිවෙකුත් සමාජ දුරස්ථකරණය ආරක්ෂා කිරීමටවත්, මුඛ ආවරණ පැලඳීමටවත් ක්‍රියා නොකළ බවත්, කුඩා ගබඩාවක සංවිධානය වූ රැළියට සහභාගි වූ පිරිස් රැස්කකා සිටි බවත් විදෙස් මාධ්‍ය පවසයි.