සුගිය සතියේ හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගතකර සිටි ප්‍රවීණ ප්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද (28) දින අභාවප්‍රාප්ත වූයේය.මිය යන විට 68 වන වියේ පසු වූ ඔහු සිංහල සිනමාවට පිවිසියේ අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ නොම්මර එකයි (1987) චිත්‍රපටයේ රඟපාමිනි. ඒ වනවිට ඔහු හාස්‍ය සිනමා පිටපත් රචකයෙකු ලෙස
ප්‍රකටව සිටි අයෙකි.
ප්‍රහසන රංග ශිල්පියෙකු ලෙස නොමැකෙන සටහන් තැබූ ටෙනිසන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ රැ දනියෙල් දවල් මිගෙල් ,පෙරලිකාරයෝ, සෝමි බෝයිස් සහ වැඩ බාරි ටාසන් වැනි චිත්‍රපටවල ප්‍රහසන චරිත හරහාය. රංගනයට අමතරව ඔහු අධ්‍යක්ෂකවරයකු සහ තිර රචකයෙකු, ගායකයෙකු, පද රචකයෙකු ලෙස ද කටයුතු කර ඇත.

1952 අප්‍රේල් 30 වනදා ටෙනිසන් කුරේ උපන්නේ මොරටුවෙහි ය. ඔහු මොරටුව මෙතෝදිස්ත උසස් පාසලේ අධ්‍යාපනය ලැබීය.
පූජ්‍ය තියඩෝර් එච් පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද මොරටුමුල්ල පල්ලියේ වේදිකා නාට්‍යකරුවෙකු ලෙස ඔහු සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. වෙස්ලි ගුල්ඩ් සහ විලෝරාවට් පල්ලියේ බයිබල් පාසලේදී ඔහුගේ නාට්‍ය කුසලතා තවදුරටත් වර්ධනය විය. ඔහු එන්.සී.සී ගුවන් විදුලිය සඳහා ක්‍රිස්තියානි නාට්‍ය නිෂ්පාදනය කර ඇත.
ඔහු විසින් නිෂ්පාදනය කරන ලද පළමු කිතුනු මිලිමීටර් 16 සිංහල චිත්‍රපටය අකිකරු පුත්‍රයා නම් විය. අධ්‍යක්ෂවරයකු ලෙස ඔහුගේ පළමු චිත්‍රපටය වූයේ 2011 නොවැම්බර් 25 වන දින තිරගත වූ තැන්ක්යූ බර්ටි ය.
මියගිය ටෙනිසන් කුරේ එක් දියණියකගේ පියෙකි. ටෙනිසන් 1986 සිට මේ දක්වා චිත්‍රපට 64 කට සම්බන්ධ වූවෙකි. ඔහු 2017 දෙරණ සිනමා සම්මාන උළෙලේදී පමණක් ඇගයීමට භාජනය විය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.