සිකුරු යනු හිරුගේ සිට දෙවැනි ස්ථානයේ පිහිටින ග්‍රහලොවය. පෘථිවිය පිහිටා ඇත්තේ තෙවැනි ස්ථානයේ ය. හිරුට ළංව පිහිටා ඇති බැවින්, සිකුරු ග්‍රහලොවේ උෂ්ණත්වය ඉතා ඉහළය. සිකුරු මතුපිටට පය තැබුවොත් දැවී අළු වී යයි. සිකුරු මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 470 කි. සිකුරු ග්‍රහයාගේ වායුගෝලය ද ආම්ලික
වායුවලින් පිරී පවතී. අධික උණුසුම හේතුවෙන්, සිකුරු ග්‍රහයාගේ ජීවය පැවැතීමට ඉඩක් නොමැති බැවින්, තාරකා විද්‍යාඥයන් පිටිසත්වළ ජීවය සම්බන්ධයෙන් සිකුරු ග්‍රහයා කෙරෙහි මේ වනතුරු අවධානයක් යොමු කර තිබුණේ නැත.

සිකුරු ග්‍රහයා මතුපිටට රොබෝ යානයක් යැවූ එකම රට සෝවියට් දේශයයි. ඒ, 1970 වසරේ දීය. එම යානයේ නම ‘වනෙරා 7' ය. විද්‍යාඥයන්, ජීවය පිළිබඳ සාක්ෂි සෙවීමට රොබෝ යානා යවන්නේ අඟහරු වෙතය. අඟහරු පිහිටා ඇත්තේ හිරුගේ සිට සිවුවැනි ස්ථානයේය. ඊයේ (15) සිකුරුගේ ජීවය ඇතැයි ලොවට අනාවරණය කළේ බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥවරියක වන ජේන් ග්‍රීවර්ස් ඇතුළු කණ්ඩායමය. ජේන් ග්‍රීවර්ස් ඇතුළු විද්‍යාඥයන් සිකුරුගේ වායුගෝලය අධ්‍යයනය කර තිබේ. ඒ, ප්‍රබල දුරේක්ෂය ආධාරයෙනි. සිකුරුගේ වායුගෝලය අධ්‍යනය කරද්දී, වායුගෝලයේ තිබි ‘පොස්පීන්" වායු අංශ හමුවී තිබේ.

‘පොස්පීන්" පෘථිවීයේ ද දකින්න ලැබෙයි. පොස්පීන් නිපදවීම සිදුවන්නේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය එසේත් නැතිනම් කාබනික ද්‍රව්‍ය බිදී යාමෙනි. සිකුරු ග්‍රහලොවේ වායුගෝලයෙන් පිටසක්වල ජීවය ගැන හෝඩුවාවක් හමුවුණැයි විද්‍යාඥයන් ප්‍රකාශ කළේ ඒ නිසාය. ‘සිකුරු වායු ගෝලයෙන් පිටසක්වළ ජීවය ගැන විස්මිත හෝඩුවාවක් දැන් අපට ලැබී තිබෙනවා. දැන් කළ යුතු වන්නේ වායු ගෝලය වැඩිදුර අධ්‍යයනය කිරීමට රොබෝ යානයක් යැවීමයි” යැයි බ්‍රිතාන්‍ය විද්‍යාඥ ජේන් ග්‍රීවර්ස් පැහැදිලි කරයි.

ජේන් ග්‍රීවර්ස් ඇතුළු විද්‍යාඥ කණ්ඩායම සිකුරු වායුගෝලයේ පොස්පේන් අංශු අඩංගු බවට පළමු හෝඩුවාව සොයා ගත්තේ, හවායි දූපතේ පිහිටි ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්" දුරේක්ෂයේ ආධාරයෙනි. එය තහවුරු කර ගැනීම සිදුවූයේ චිලී රටේ ඇටකාමා කාන්තාරයේ පිහිටා ඇති රේඩියෝ දුරේක්ෂවල ආධාරයෙනි.