තවූ පැය 24 තුළ රිය අනතුරු 04 කින් ජීවිත 04 ක් අහිමිව ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි. පහත පළවන්නේ
ඒ විස්තරයි.
තණමල්විල
අද 13 වන දින අළුයම 12.30 ට පමණ තණමල්විල පොලිස් වසමේ කුමාරගම හන්දිය මීගහජඳුර මාර්ගයේ තේක්ක වගාව අසලදී මීගහජඳුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ සිටි ගවයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු තණමල්විල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 23ක් වන කුමාරගම, සූරියආර, තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය තණමල්විල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

අරලගංවිල
ඊයේ12 වන දින රාත්‍රී 10.30 ට පමණ අරලගංවිල පොලිස් වසමේ අරලගංවිල ග්‍රේවල්කන්ද මාර්ගයේ අළුත්ඔය ප්‍රදේශයේදී අරලගංවිල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 20ක් වන පිඹුරත්තෑව, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

මිනුවන්ගොඩ
ඊයේ12 වන දින සවස 4.30 ට පමණ මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ වේයන්ගොඩ මාර්ගයේ පන්සල් හන්දියේදී මිනුවන්ගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් පැමිණි තවත් යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනාගෙන් එක් පැදිකරුවෙකු මිනුවන්ගොඩ රෝහලටත් අනෙක් පැදිකරු ගම්පහ රෝහලටත් ඇතුලත් කිරීමෙන් අනතුරුව මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කළ පැදිකරු මියගොස් ඇත.

වාරියපොල
ඊයේ 12 වන දින දහවල් 1.30 ට පමණ වාරියපොල පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මිනුවන්ගැටේ ඉන්ධන හල අසලදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරු පැදියක් දකුණු පස ඇති ඉන්ධන පිරවුම් හලට යාමට දකුණට හැරවීමේදී පසු පසින් එම දිශාවට ධාවනය වූ තවත් යතුරු පැදියක් එම යතුරු පැදියේ පිටපුස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනා සහ එක් පසු පැදිකාරියක් වාරියපොල රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පැදිකරුවකු මියගොස් ඇත.