රණයට කැප වූ ගවයන් 15 දෙනකු පමණ නිදහස් කරගෙන මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වන වෙලේ සුදා වෙනුවෙන් භාරහාර ඔප්පු කිරීම සඳහා විවිධ පුද්ගලයන්ට දී ඇති බව වෙලේ සුදාගේ මස්සිනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීම අනාවරණය වී ඇති බව ඉමදුව පොලිසිය පවසයි. 
වෙලේ සුදාගේ මස්සිනා වන ජාගොඩගේ වසන්ත පුෂ්පකුමාර නොහොත් 'පහළ කනත්ත චූටි' ඉමදුව ඇල්ලලගොඩ ප්‍රදේශයේ දී ඉමදුව පොලිසිය විසින් ඉකුත් 10 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් දින 7ක රැඳවුම් නියෝගයක් මත සැකකරුගත් කළ ප්‍රශ්න කිරිම්වලදී මෙම කරුණු අනාවරණය වී ඇත. වෙලේ සුදාගේ බිරිඳ මරණයට කැපවූ ගවයන් නිදහස් කරගැනීම සඳහා මෙම සැකකරුට මුදල් දී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ඉමදුව පොලිසිය කියයි.

ගව ඝාතකාගාරවලින් නිදහස් කරගෙන ඇති මරණයට කැපවූ එළගවයන් 15කට අධික ගණනක් මෙකී සැකකරුගේ මැදිහත්වීමෙන් ඉමදුව ඇල්ලගොඩ ප්‍රදේශයේ ගොවීන්ට බෙදා දී ඇති බව ද පොලිසිය පවසයි.  මරණීය දණ්ඩනය නියම වී ඇති වෙලේ සුදා ඉන් නිදහස් කරගැනීම මරණයට කැපවූ ගවයන්  නිදහස් කිරීමේ අරමුණ වී ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.  මීට අමතරව වෙලේ සුදාගේ බිරිඳ මොහුට කාර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 7කට අධික මුදලක් ද දී ඇති අතර වෙලේ සුදාගේ දරුවන් ප්‍රවාහනය කිරීම ආදී කටයුතු සැකකාර පුද්ගලයා සිදුකොට ඇති බව අනාවරණය වූ බව ද පොලිසිය කියයි.

මෙම සැකකරු වෙලේ සුදාගේ ගෝලයකු වශයෙන් ක්‍රියා කොට ඇති බව පවසන පොලිසිය බන්ධනාගාරගතව සිටින වෙලේ සුදාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දී ඇත්තේ සැකකරු වන වෙලේ සුදාගේ මස්සිනා විසින් බවට පරික්ෂණවලදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

දුරකතන විශ්ලේෂණ වාර්තාවලට අනුව සැකකාර පුද්ගලයා වෙලේ සුදා හා පවුලේ අය සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බව ද පොලිසිය කියයි. බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා ඇතුළු විශේෂ අංශයේ රැඳවියන් කිහිපදෙනකුට අවශ්‍ය ආහාර සඳහා ගෙවීමට වෙලේ සුදාගේ නිවෙසින් ලැබෙන මුදල් ආපනශාලාවට ගෙවා ඇත්තේ මොහු ඇතුළු තිදෙනකු විසින් බව ද පොලිසිය පවසයි.  මෙම කටයුතු සඳහා වෙලේ සුදාගේ නිවෙසින් රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් මොහුට ගෙවා ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.වෙලේ සුදාගේ මස්සිනා ඊයේ (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය. ඉමදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් පරික්ෂණ පවත්වයි.
 (ජේ.කේ.එල් චාමින්ද සහ ප්‍රේමතිලක ද සිල්වා)