එළඹෙන වසර වනවිට මිනුම් කාණ්ඩ  06ක් යටතේ නිල ඇඳුම් රෙදි කපා පාසල් සිසුන් සඳහා ලබාදීමට කටයුතු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29)දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී
මේ බව පැවසූ ඒ මහතා  පෙන්වා දුන්නේ නිල ඇඳුම් සඳහා එලෙස රෙදි කපා ලබා දීම තුළ රෙදි අපතේ යාම වළක්වාගත හැකි වන බවය. පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා තිළිණපත් වෙනුවට සිසුන් වෙත නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා පෙරේදා (28දා) පැවැති  අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එහි අනුමැතිය ලැබිණි. ඒ අනුව 2021 වර්ෂය සඳහා අවශ්‍ය සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය දේශීය රෙදි නිෂ්පාදකයන් වෙතින් මිලට ගැනීමට එහිදී තීරණය වී තිබේ.

එසේම මේ සඳහා දේශීය රෙදිපිළි  නිෂ්පාදකයන් 04 දෙනෙකු විසින් මිල ගණන් ඉදිරිපත් කර ඇති බවත්, එහිදී ඔවුන් විසින් අදාළ සමස්ත රෙදිපිළි අවශ්‍යතාවෙන් 40%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් නිරීක්ෂණය වී ඇති බවත් රජය ප්‍රකාශ කරයි. රජය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2021 ජනවාරි මස අවසානය පමණ වනවිට සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශයතාව සැපිම සඳහා අදාළ ආයතනයන්ට හැකියාව පවතින බවට තහවුරුව ඇති බවයි.  ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා සති 02ක හෝ 03ක පමණ ප්‍රමාදයක් සිදුවිය හැකි යැයි සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

-නිදර්ශි වික්‍රමසිංහ-