ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පනත් හා නීතිරීතීන් සංශෝධනය කිරීම ඇතුළු යෝජනා  03ක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය
මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  මෙම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එමඟින් හෙතෙම ඉල්ලා ඇත්තේ, ගව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක 1958 අංක 29 දරන සත්ත්ව පනත, 1893 අංක 09 දරන හෝ ඝාතක ආඥාපනත සහ අදාළ අනුශාංගික වෙනත් නීති හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීතිරීතින් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම නොපමාව සිදු කරන ලෙසයි.

එසේම ගව මාංශ පරිභෝජනය කරනු ලබන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනයට හා සහන මිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව ගැනීම මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදාගත නොහැකි වයස්ගත තත්වයට පත්වන ගවයන් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද සිය යෝජනාව මගින් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත. ඒ අනුව මෙම යෝජනා 03 ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ගව ඝාතනය තහනම් කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29)දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ  "ගව ඝාතනය සම්බන්ධයෙන් තිබෙන පනත් සංශෝධනය කර විද්‍යානුකූලව පියවර ගන්නවා" යනුවෙනි.

-නිදර්ශි වික්‍රමසිංහ-