දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා කළු ගල් කැඩීම හේතුවෙන් හානි සිදු වූ සිය නිවාස සදහා වන්දි මුදලක් නොලබු බව පවසමිත් අගුණුකොලපැලැස්ස ජදුර ග්‍රාම නිලධාරී වසමේ ජනතාව අදාළ ඉදිකිරීම් සිදු කළ චීන සමාගමකට අයත් ව්‍යාපෘති කාර්යාලයට ඊයේ (13දා) පැමිණීමත් සමග දැඩි නොසන්සුන්තාවක් ඇති විය.



 එහි නිලධාරියකු පසුගිය 12 වැනිදා පැවසූ අන්දමට තම ගැටලු සදහා විසදුමක් ලබා ගනීමට ඊයේ (13දා) මෙම පිරිස එම කාර්යාලයට පැමිණ සිටියද ඒ වනවිට එහි සාමාන්‍ය ඉංජිනේරුවන් තිදෙනකු හා චීන ජාතිකයක් පමණ සිටියහ.

නමුත් ඔවුන්ට මෙම ගැටලුවට විසදුමක් ලබා දීමට නොහැකි බවත් ඒ සදහා මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පැමිණිය යුතු වුවත් ඔහුට 12 වැනිදා පැමිණීමට නොහැකි බවින් ඊයේ 13 පැමිණෙන ලෙස පොලීසිය විසින් ජනතාව දැනුවත් කරනු ලැබුවත් ජනතාව ඉන් ඉවත් නොගොස් අදාළ ඉංජිනේරුවන් තිදෙනාද රදවාගෙන එම ස්ථානයේ රැදී සිටියහ.

කෙසේ නමුත් ප්‍රදේශයේ ජනතාව දක්ෂිණ අධිවේගී මාර්ගය හරස් කිරීමට සූදානම් වී සිටි නිසා අදාළ ව්‍යාපෘති කාර්යාලයෙහි සිදුවන අනර්ථයන් වළක්වාලීමට අගුණුකොලපැලස්ස පොලිසිය විසින් අගුණුකොලපැලැස්ස අධිකරණයෙන් නියෝගයක් ගෙන එය මෙම ස්ථානෙය් කියවන ලදී. එමෙන්ම රදවාගෙන සිටි චීන ජාතික ඉංජිනේරුවරයාද පොලීසිය විසින් මුදා ගෙන රැගෙන යාමට කටයුතු කරන ලදී.

අදාළ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සමග අද 14වැනිදා පස්වරු01.00 ට සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන බව අගුණුකොලපැලැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැවසීමෙන් පසුව රැස්ව සිටි පිරිස එම ස්ථානයන් පිටව ගියහ.

 නමුත් ප්‍රදේශයේ ජනතාව පෙන්වා දෙන්නේ වසර 05ක් කාලයක් තිස්සේ නිලධාරීන් මේ ආකාරයෙන් තමන් රවටමින් සිටින බවත් මෙවර තමන් හට නිසි වන්දි මුදලක් ලබා දීමට කටයුතු නොකළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එලඹෙන බවයි.

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි-හම්බන්තොට)