මහරගම, අඹගහපුර සමාධි මාවතේ නිවසක කොන්ක්‍රීට්වලින් ඉදිකළ ඉස්තෝප්පුවක් අනාරක්ෂිත ලෙස කඩා ඉවත් කිරීමට යාමේදී කොන්ක්‍රීට් තටුවක් කඩා වැටී එහි සිටි කම්කරුවෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇති බව මහරගම පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්‍ෂයට පත්වූයේ, දැරණියගල, නක්කාවිට, අංක 71/11/09 හි පදිංචි මානිගම්මන විදානලාගේ චමින්ද අරුණ ප්‍රභාත් සිරිවර්ධන නමැති (49) දෙදරු පියෙකි.

පැරණි නිවසක් වන අදාළ නිවස ඉදිරිපිට කොන්ක්‍රීට්වලින් ඉදිකර තිබූ ඉස්තෝප්පුවක් පෙරේදා (12දා) සවස කඩා ඉවත් කිරීමට යැමේදී ඉන් කොටසක් එක්වරම මෙසේ බීමට ඇද වැටී ඇති අතර, ඒ සමග කම්කරුවාගේ සිරුර කොන්ක්‍රීට් තට්ටු දෙකකට සිර වී ඇති අතර, ඔහු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව පොලීසිය පවසයි.

 මෙම කොන්ක්‍රීට් ස්ලැබ් එක එක් පසෙකින් නිවසේ බිත්තියටද අනෙක් පසෙකින් කොන්ක්‍රීට් කණුවකටද සවි වන සේ ඉදි කර තිබී ඇති අතර, එහි අනාරක්ෂිත බව නිසාම කුළුගෙඩියෙන් පහරදී කඩා ඉවත් කරන ලෙස කොන්ත්‍රාත්කරු කම්කරුවාට උපදෙස් දී තිබියදී ඔහු කොන්ක්‍රීට් කපන යන්ත්‍රයකින් එහි කම්බි දෙකක් පමණක් ඉතිරි වන සේ කපනවාත් සමග අබලන් වී තිබූ කණුවත් සමග එකවරම මෙසේ කොන්ක්‍රීට් තට්ටුව බිමට ඇද වැටී ඇති බව පොලීසිය පවසයි.

ඒ සමගම මෙම පුද්ගලයා බිමට ඇද වැටුණු කොන්ක්‍රීට් තට්ටු දෙකකට සිර වී මරණයට පත්ව ඇතැයි පැවසේ. පසුව මේ පිළිබඳව මහරගම පොලීසිය දැනුවත් කොට පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබුණි. ඒ අනුව මහරගම හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු එච්.එම්. ඩලස් මහතා එම ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කළේය.

ඒ අනුව දේහය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණය  13දා  කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්ත මහතාගේ උපදෙස් මත සිදුකෙරේ.

(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න/දෙහිවල-එච්.එම්.ධර්මපාල/බිමල් ශ්‍යාමන් ජයසිංහ)