ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කුරුණෑගල දිස්ත්‍රික්කයන් ලබා දීමට කළගුණ සැලකීමක් විදියට ඉදිරි වර්ෂ තුන ඇතුළතදී දිවයින් දියුණුම මාර්ග පද්ධතිය කුරුණෑගල දිස්ත්‍රික්කයට ලබා දෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
පැවසීය. සිය තනතුරේ රාජකාරි කටයුතු ඊයේ (13දා කුරුණෑගලදී ආරම්භ කරමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.


මෙහි විශේෂත්වය වන්නේ අමාත්‍යාංශය තුළ වැඩ භාරගැනීම නොකොට කුරුණෑගල වජිරාඥාණ මාවත මාර්ගය කාපට් කිරීම ආරම්භ කරමින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමය. එසේම මීගමුව මාර්ගය හරහා යන උමං මාර්ගයට මුල්ගල තැබීමත්, අමාත්‍යවරයා විසින් වැඩ ආරම්භ කළ මලියදේව විද්‍යාලයේ පැසිපන්දු පිටිය නිරීක්ෂණය කිරීම හා මලියදේව විද්‍යාල පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීමත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් මෙහිදී සිදුකෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, " වැඩ කරන්න තමයි අපේ ජනතාව අපට මෙතරම් විශාල ප්‍රමාණයකින් ඡන්දය දුන්නේ දැන් අපිට ඉන්න ප්‍රායෝගික ජනාධිපති කෙනෙක් වගේම ප්‍රායෝගික අගමැති කෙනෙක්. ඒ නිසා අපිත් ප්‍රායෝගිකව වැඩ කරන ඕනි. ඒ නිසා තමයි අද බොහොම ප්‍රායෝගිකව ජනතාව සමග පාරට ඇවිත් වැඩ ආරම්භ කරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයක මාර්ග සංවර්ධනය කිරිමේ වැඩපිළිවෙළ අපි මේ අවුරුදු 5ක කාලය තුළ සපුරා ගැනීමට කටයුතු කරනවා.

කඩවත සිට ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයත් යහපාලන ආණ්ඩුවේ හිටපු මහාමාර්ග අමාත්‍ය කිරිඇල්ල මහත්තයා ත්‍රෛනිකායික මහා සංඝරත්නයට පුළුවන් තරම් බොරු කීවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එහෙමයි. අපි බලාපොරොත්තු වෙනවා ඒ අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය රජයෙන් ලබා දිය යුතු මුදල් ලබා දීලා අවුරුදු තුනක් ඇතුලත කඩවත සිට මීරිගම දක්වා වන හිස්තැන පුරවන්නත් එතැන සිට කුරුණෑගල දක්වා වන කොටස අපි මාස හයක් ගතවීමට කලින් හදලා විවෘත කරන බව මම ඉතාමත්ම වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරනවා.

අපිට වැඩ කරන්නයි ජනතාව මේ රට බාරදුන්නේ. ඒ කාර්ය මහාමාර්ග අමාත්‍යාංශය විදියට අපි ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට ඉටුකර දෙන බවට පොරොන්දු වෙනවා” යැයි පැවසීය. වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල්. කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වන සමන්ප්‍රිය සහ සුමිත් උඩුකුඹුර මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ගීතාංජලී ප්‍රියදර්ශන)