නුරාධපුර පැනොරාමා සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ (ලොකු මල්ලි) හෙවත් එස්.එෆ්. ලොක්කා නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි පහරින් ඊයේ (5 වැනිදා) ඝාතනයට ලක්විය.
එස්.එෆ්. ලොක්කා සිය පෙම්වතිය සමග මෝටර් රථයකින් ගමන් ගනිමින් සිටියදී අනුරාධපුර ඩී.එස්. සේනානායක මාවතේ දහයියාගම හන්දියට නුදුරු දුම්රිය හරස් මාර්ගය අසලදී කළු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු
මෙම වෙඩි ප්‍රහාරය එල්ලකොට තිබේ.

ඊයේ දවල් 12.30ට පමණ කළු පැහැති කබාවලින් සහ සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කළ හිස් වැසුම් සහ මුහුණු ආවරණ පැලඳ සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් පැමිණ ඇත.

මෙම වෙඩි තැබීමෙන් මෝටර් රථයේ ගමන් ගත් එස්.එෆ්. ලොක්කාගේ පෙම්වතියට කිසිදු අනතුරක් සිදුවී නැති බව අනුරාධපුර පොලිසිය පවසයි.

ඉරෝන් රණසිංහ නමැති මියගිය අය අනුරාධපුර දහයියාගම හන්දියේ පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයකට ගොස් පසුව පෙම්වතිය දහයියාගම හන්දියේ වෙළෙඳසලකින් එළවළු මිලදී ගෙන නිවස වෙත ගමන් ගනිමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

නිවස වෙත ගමන් කරමින් සිටින අතරතුර දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයේ වේගය අඩු කරනවාත් සමගම යතුරුපැදිය ​මෝටර් රථයේ රියැදුරු අසුන අසලටම ළංකොට වෙඩි තබා ඇත. තුවාලකරු අනුරාධපුර රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළත් ඒ වන විටත් ඔහු මියගොස් තිබිණි. මෙහිදී වෙඩි ප්‍රහාර දහයකට ආසන්න සංඛ්‍යාවක හඬ ඇසුණු බව සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි ජනතාව පවසති.

වෙඩි තැබීම කළ පුද්ගලයන් දෙදෙනා යතුරුපැදියෙන්ම අනුරාධපුර අභය මාවත ඔස්සේ නගරය දෙසට පලා ගොස් තිබිණි. මෙම ඝාතනය කාගේ අනුදැනුමක් මත කවුරුන් සිදුකළාද යන්න සෙවීමට පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වෙඩික්කරුවන් ප්‍රථමයෙන් ඉරෝන් රණසිංහ (එස්.එෆ්. ලොක්කා) නමැත්තාට වෙඩි තබා අනතුරුව මෝටර් රථයේ එන්ජිම දෙසට වෙඩි තැබීම හේතුවෙන් එම මෝටර් රථයද දැවී සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත.

ව්‍යාපාරිකයකු සහ ගිනස් වාර්තාලාභී කරාටේ ශූරයකු වූ වසන්ත සොයිසාට අයත් අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ පිහිටි පැනොරාමා රාත්‍රී සමාජ ශාලාවට 2015 වසරේ ඔක්තෝබර් 24 වැනිදා රාත්‍රි හතළිහකට ආසන්න පිරිසක් සමග කඩා වැදී එහි දේපළවලට අලාභහානි සිදුකොට වසන්ත සොයිසා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු ඉරෝන් රණසිංහ හෙවත් මෙම එස්.එෆ්. ලොක්කාය. ඒ සම්බන්ධයෙන් සහ තවත් අපරාධ චෝදනා කීපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඔහු වසර දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට පසුගියදා ඇප මත මුදාහැරිණි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේ මෙම වෙඩි තැබීම සිදුකළ අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසල ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.

එස්.එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහට ටී 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර අටක් එල්ල කර ඇති බව මහෙස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක්විය.

අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගිනි ගෙන දැවී තිබූ මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කර ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගිය මහෙස්ත්‍රාත්වරයා එහි තැන්පත් කර තිබූ එස්.එෆ්. ලොක්කාගේ මෘත ශරීරය පරීක්ෂා කර ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඊට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සේනානායකට නියෝග කරන ලදී.


බී.ඩබ්ලිව්. ධර්මකීර්ති – තඹුත්තේගම
පර්සි කුරුනේරු – අනුරාධපුරය
සිඩ්නි රුවන් – කහටගස්දිගිලිය
තිසල් තෙන්නකෝන්-සාලියපුර