ගෙවල් බිඳුම් තිස්පහකට වරදකරු වී වසර හයක් බන්ධනාගාරගතව සිට පැමිණ මාස තුනක් ඇතුළත දී තවත් ගෙවල් බිඳුම් දොළහකින් රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් එක්දහස් එකසිය විස්සක් සමඟ (05) දා අත්අඩංගුවට ගත් බව මහරගම
පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අවිවාහකයකු බව පොලිසිය කියයි. මෙම පුද්ගලයා කැලණිය ප්‍රදේශයේ සිට බස් රථයකින් මහරගම ප්‍රදේශයට පැමිණ මහමග ඇවිදිමින් තමාට සිතෙන ඕනෑම මාදිලියක නිවසකට ඇතුළු වී ඉන් භාණ්ඩ හා  මුදල් සොරා ගැනීමට පුරුදු වී ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ භාණ්ඩ සොරා ගැනීමට පැමිණිය  අවස්ථාවල දී ගැබිණි කාන්තාවන්ට සහ වියපත් කාන්තාවන්ට සැකකරු හසුව ඇති අතර එම අවස්ථාවල දී ඔවුනගේ ගෙළට තියුණු ආයුධ තබා බිය ගන්වා පලාගොස් ඇති අවස්ථා ද ඇති බව පොලිසිය කියයි. මෙලෙස මහරගම පොලිස් වසමේ ස්ථාන දොළහකින් රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදල් හා රුපියල් ලක්ෂ 27කට ආසන්න දේපළ සොරා ගෙන ඇති බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය කියයි. ඒ අනුව සැකකරු සොරාගත් ලැප්ටොප් 05, එල්.ඊ.ඩී රූපවාහිනියක්, පරිගණක මොනිටරයක්, ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 05, රෝටරයක්, තිර රෙදි, සුවඳ විලවුන් සහ රුපියල් ලක්ෂ එකොළහක් වටිනා රන් වළලු හයක්, මුදු හතරක්, රන්මාල දෙකක්, කරාබු ජෝඩු දෙකක්, පෙන්ඩනයක් ඇතුළුව භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිසියට හැකි වූ බව කියයි.  එම භාණ්ඩ ඉතාමත් අඩු මිලට උකස් කොට ඉන් උපයාගත් මුදලින් හා රුපියල් ලක්ෂ තුනකට ආසක්ත සොරාගත් මුදලින් දිනකට රුපියල් 12,000 - 15,000 අතර මුදලක් වැයකොට ඉතා තදින් හෙරොයින් පානයට ඇම්බැහිව සිට ඇතැයි ද පැවසේ. නිවෙස්වල සවිකර තිබූ ආරක්ෂිත කැමරා පරික්ෂා කිරිමෙන් සැකකරු හඳුනාගෙන දින තිස් හතරක් පුරා සිදුකළ සුක්ෂම මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස සැකකරු මෙසේ අත්අඩංගුවට  ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සත්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් එක්දහස් එකසිය විස්සක් ද තිබී පොලිස් භාරයට ගත් බව පැවසේ. පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මීට වසර හයකට පෙර මුල්ලේරියාව පොලිස් වසමේ ගෙවල් බිඳුම් තිස් පහකට වරදකරු වී වසර 19ක සිර දඩුවමක් වසර හයකින් ගෙවී යන සේ බන්ධනාගාර ගතව සිට මීට මාස තුනකට පෙර නිදහස්ව ආ අයකු බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය පවසයි. මෙම සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.


-ශාන්ත ප්‍රදීප් කුමාර-