පාසල්වලට අවශ්‍ය විෂබීජ නාශක දියර හෝ එම ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් ලබා නොදීම හේතුවෙන් එම ද්‍රව්‍ය මිලදී ගැනීමට දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුව තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.



කෝවිඩ්-19 තත්වය තුළ පාසල් ආරම්භ කළ මුල් අවස්ථාවේදී විෂබීජ නාශක මිලදී ගැනීමට යම් මුදලක් ලබාදුන් බවත්, එහෙත් බොහෝ පාසල්වලට සින්ක් මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලබා නොදුන් බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලීන් මහතා පැවසීය. මුල් අවස්ථාවේදී පාසලට ළමයින් සිමිත පිරිසක් පැමිණි නිසා එම අවස්ථාවේදී විශාල ගැටලුවක් ඇති නොවූ බවත්, එහෙත් මේ වනවිට අදියරෙන් අදියර පාසල් ආරම්භ කිරීමත් සමඟ සතියේ දින පහක කාලය තුළදී සැලකිය යුතු විෂබීජ නාශක දියර ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් ඒ මහතා පවසා සිටියේය.

එහෙත් විෂබීජ නාශක දියර මිලදී ගැනීමට හා පාසල් ළමයින්ගේ අවශ්‍යතාවට සරිලන ලෙස සින්ක් නොමැති පාසල්වලට සින්ක් මිලදී ගැනීම සඳහාත් දෙමවුපියන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. එසේම කෝවිඩ්-19 තත්ත්වය තුළ දරුවන් ආරක්‍ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පහසුකම් රජය විසින් සිදුකරන බවට අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කළ බවත්,

මේ නිසා පාසල්වලට අවශ්‍ය විෂබීජ නාශක දියර මිලදී ගැනීමට හා සින්ක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඊයේ (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ලේකම්වරයා පැවසීය.

මීට අමතරව ශ්‍රේණි තුනක් සවස 3.30 දක්වා පාසල් තුළ රැඳීසිටින බවත්, එහෙත් පාසල් ආපන ශාලා විවෘත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් නොවීම නිසා සිසුන් හා ගුරු විදුහල්පතිවරුන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

- ඉන්දික හේවාවිතාරණ -