ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (20) පස්වරු 3.00ට යෙදෙන සුබ මොහොතින් විවෘත කෙරේ.
ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව විවෘත කරන බව එහි ප්‍රධානීහු පවසති.

පාර්ලිමේන්තුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව හෙට උදේ 9.30ට යෙදෙන සුබ මොහොතින් රැස්වෙයි. පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව එහිදී කෙරෙන පළමු කටයුත්ත වන්නේ මැතිසබය සඳහා අභිනව කතානායකවරයකු, නියෝජ්‍ය කතානායකවරයකු හා නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයකු පත් කර ගැනීමයි.

මෙම අහිනව කතානායකවරයා පත් කර ගැනීමෙන් පසුව ඔහු කතානායක ආසනය වෙත රැගෙන ඒම සිදුවන අතර නව වැනි පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් කතානායක ඉදිරියේදී දිවුරුම් දීම සිදුවන්නේ ඉන් අනතුරුවය. පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදී මන්ත්‍රීවරුන්ට අසුන් වෙන් කිරීමක් නොකෙරෙන අතර ඔවුනට තමන් අභිමත අසුන්වල අසුන් ගැනීමට අවස්ථාව පවතින්නේය.

කෙසේ වෙතත් ජනපතිවරයාගේ හා අගමැතිවරයාගේ අසුන් පමණක් වෙන් කර තැබෙන බව වේත්‍රාධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කතානායක ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු මැතිසබය සවස 3.00 දක්වා කල්තබනු ලැබේ. මැතිසබය සවස 3.00ට රැස් වූ පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කතානයක අසුනට පැමිණ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේතුව විවෘත කරන්නේය.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය සම්ප්‍රදායට මුල්තැන දෙමින් චාම් අයුරින් පැවැත්වීමට රජය දැනටමත් තීරණය කර ඇත.

ආචාර පෙළපාලි, අශ්වයින් පෙරටුකරගෙන පැමිණීම වැනි උත්සව අංග කිසිවක් මෙවර එම උත්සවයට ඇතුළත්ව නොමැත.

කොරෝනා වසංගතය හේතූවෙන් පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේද සාමාන්‍ය මහජනතාවට තාවකාලිකව වසා තැබෙනු ඇතැයි කී වේත්‍රධාරිවරයා දිවුරුම් දෙන අවස්ථාව දැක බලා ගැනීමට සෑම මන්ත්‍රීවරයකුගේම පවුලේ ළගම ඥාතියකුට පමණක් අවස්ථාව හිමිවන්නේ යැයි සඳහන් කළේය.

පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව වැඩි කිරීමටද ආරක්ෂක අංශ ප්‍රධානීන් පියවර ගෙන ඇත.

- සුජිත් හේවාජුලිගේ -