හිටපු විභාග කොමසාරිස් වරයෙකු වූ මහින්ද විජේසිරි මහතා කැස්බෑව නගරයට ආසන්න වෙළඳසලක් ඉදිරිපිට
ඔහුගේ මෝටර් රථය තුළ මිය ගොස් සිටියදී ඊයේ (18) උදැසන සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි.

මියගිය විභාග කොමසාරිස්වරයා තිදරු පියකු වු අතර පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කැස්බෑව නගරයට ආසන්න ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට පැය භාගයකට අධික කාලයක් තිස්සේ නවතා තිබු මෝටර් රථයක් පිළිබඳව එම ව්‍යාපාරික ස්ථානයේ ආරක්‍ෂක නිලධාරියා විමසිලිමත්ව සොයාබැලීමේදී මෝටර් රථයේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා වම්පස අසුනට බරව වැටී සිටින අයුරු දැක ව්‍යාපාරික ස්ථානය මඟින් පිළියන්දල පොලිසියට කළ දැනුම්දීමක් අනුව හිටපු කොමසාරිස්වරයාගේ මළසිරුර සොයාගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඔහුගේ මුදල් පසුම්බියේ තිබූ දුරකථන අංකය ඔස්සේ ඥාතීන්ට මේ බව දැනුමදීමෙන් අනතුරුව ඔවුන් පැමිණ මළ සිරුර හඳුනා ගත් බව පොලිසිය කියයි.

මියගිය හිටපු විභාග කොමසාරිස්වරයා, කහතුඩුව, පොල්ගස්ඕවිට නිවසේ සිට නුගේගොඩ දියණියගේ නිවසේ සිටින බිරිඳ කැටුව ඒම සඳහා යමින් සිටියදී මෙලෙස මියගොස් තිබූ බව පොලිසිය සිදුකළ මූලික විමර්ෂණ වලදී අනාවරණය වී ඇත.

අනතුරු පිළියන්දල හදිසි මරණ පරික්ෂක අජිත් විජේසිංහ මහතා එම ස්ථානයට පැමිණ මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැත්පත් කරන ලෙස පොලිසියට නියෝග කළේය. ගල්කිස්ස කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න පොලිස් අධිකාරී සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් රංජිත් මහතා පරීක්ෂණ පවත්වයි.

- බිමල් ශ්‍යාමන් ජයසිංහ -