පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරිමෙදී මින් පෙර පැවැති ආකාරයේ සැමරුම් කිසිවක් සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව ලබන 20 වැනිදා පැවැත්වෙන නව වැනි පාර්ලිමේන්තූවේ පළමු සැසිවාරය ආරම්භයේදී පෙර පැවැති
ආකාරයට හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාළි නොපැවැත්වෙන බවද වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගිවන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ජයමංගල ගාථා ගායනා කිරීම පමණක් සිදුකිරිමට නියමිතය.  නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන 20 වැනිදා උදේ 9.30 ට පැවැත්වෙන අතර එහිදී පළමුව කතානායකවරයා තෝරාපත්කර ගැනීම සිදුවේ. ඉන්පසුව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම හා ප්‍රතිඥා දීම සිදු කෙරේ.

අනතුරුව නියෝජ්‍ය කතානායකවරයා හා නියෝජ්‍යකාරක සභාපතිවරයා පත්කර ගැනීම සිදුවේ.  ඉන්පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේත්තුවට පැමිණෙන අතර කතානායකවරයා හා පාරිලිමේන්තූවේ මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙළ අසලදී ජනාධිපතිවරයා පිළිගනිති. වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකරගත් කතානායකවරයා හා පාරිලිමේන්තූවේ මහලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය වෙත කැඳවාගෙන යෑමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මූලාසනයේ සිට පස්වරු 3.00 ට පමණ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරනු ඇත.
-නාලක සංජීව දහනායක-