"මම නායකත්වයට පත් වෙලා අවුරුදු 23ක් වෙනවා. හැම අවුරුද්දකම අපි ලෝක ආදිවාසී දින සැමරුම් තියලා. රට පුරා ඉන්න ආදිවාසීන් එකතුවෙලා වරිග සභා තියලා, ආදිවාසීන්ගේ ගැටලු පවතින රජයන්ට දන්වා තියනවා. තාමත් ආදිවාසීන්ගේ ගැටලුවලට ස්ථිර විසදුම් ලැබී නැහැ. හැමදාම අපි අපේ ගැටලු ගැන සාකච්ඡා
කරනවා. ඒවා රජයට දැනුම් දෙනවා. ඊලග වසරෙදිත් ඒකමයි වෙන්නේ. ස්ථිර විසදුමක් ලැබෙන්නේ නෑ. මෙහෙම හැමදාම අපේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් නොලැබීම හොද නෑ කියලයි මම හිතන්නේ. ආදිවාසීන්ගේ අනන්‍යතාව ආරක්ෂා වෙන ස්ථිර වැඩපිළිවෙළක් අවශ්‍ය ” යයි ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ පැවසීය.

ලෝක ආදිවාසී සැමරුම නිමිත්තන් දඹාන ආදිවාසී ගම්මානය, කොටබකිණිය, මොරබැද්දේදී ඊයේ (16දා) පැවති උත්සවයකදී හෙතෙම මේ බව පවසා සිටියේය. මෙවර ලෝක ආදිවාසී දින සැමරුම් තේමාව බවට, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ "ආදිවාසීන් හා කෝවිඩ් 19” ලෙසටයි. එහිදී ආදිවාසී ජනතාවගේ සාම්ප්‍රදායික ඥානය වසංගත රෝග පැතිරීම වලක්වා ගන්නට උපයෝගී කර ගන්නේ කෙසේද යන්න පිළිබදව අවධානය යොමු කර තිබිණි.

ලෝක ආදිවාසී ජනගහණයේ අයිතිවාසිකම් නැංවීම හා සුරැකීම අරමුණු කරගෙන සෑම වසරකම අගෝස්තු 09 වැනිදා ආදිවාසී ජනතාවගේ ජාත්‍යන්තර දිනය සමරනු අතර පාර්ලිමේන්තු මැතිවරණය හා කෝවිඩි වසංගතය හේතුවෙන් ලෝක ආදිවාසී දින සැමරුම ඊයේ (16දා) දක්වා කල් තැබිණි.

කෝවිඩි 19 වසංගතය හේතුවත් සුළු පිරිසක් සහභාගී කර ගනිමින් ඉතා චාම් ආකාරයෙන් මෙම සැමරුම සංවිධානය කර තිබූ අතර දඹාන රතුගල. පොල්ලේබැද්ද. හේනානිගල, සහ වාකරේ යන වැදි ගම්මානවල ආදිවාසී ජනතාව දස දෙනා බැගින් සෞඛ්‍ය අංශ අධීක්ෂණය යටතේ සහභාගී කර ගන්නා

පෙරේදා (15දා) සවස රට පුරා විසිරී සිටින ආදිවාසීන් එක්ව ඔවුන්ගේ ගැටලු පිළිබද සාකච්ඡා කෙරන වරිග සභාව පවත්වා එම ගැටලු සදේශයක් ලෙස රජයට ඉදිරිපත් කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුමයන් පිළිබද අතිරේක ලේකම් විජිත කුමාර මහතාට ප්‍රදානය කරන ලදී.

මේ අතර උත්සවයට සමගාමීව පැමිණි සිටි ආදිවාසී ගම්මානවල ජනතාවට වියළි ආහාර සලාක මලු බෙදීමක් සිදු කෙරිණි.  අනතුරුව ආදිවාසී ජන ගී හා කිරිකොරහා ශාන්ති කර්මය ආදී ඔවුනට ආවේණික සංස්කෘතික අංගවලින් මෙම අවස්ථාව වරණවත් විය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් හා මහියංගන ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ දායකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබද  අතිරේක ලේකම් විජිත කුමාර, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුමයන් පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


(මහියංගණය - රංජිත් කරුණාවීර)