සුගිය දින නිවසටම පැමිණ ඉංග්‍රීසි උගන්වන මුවාවෙන් කුඩා පිරිමි දරුවන් අපයෝජනය කර එම අවස්ථාවන් වීඩියෝ ගතකර විදේශ රටවලට විකිණීමේ ජාවාරමක නිරත වූ නිරන්ත එදිරිසිංහ නම් අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.
මෙම පුද්ගලයා පිළිබදව වැඩිදුර විමර්ශන සිදු කිරීම සදහා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මෙම සැකකරු අගෝස්තු 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.
මෙම 54 හැවිරිදි සැකකරු ප්‍රසිද්ධ රුපවාහිනී ළමා රියැලිටි වැඩසටහනක
පසුතල නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර ඇති අතර එහිදී වයස අවුරුදු 10 – 12 වයසේ පසුවන කුඩා පිරිමි දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් සමග සුහද වෙමින් එම දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සදහා නිවසට පැමිණීමට කටයුතු සලසාගෙන් ඇති බවට හෙළි වී ඇත.

මෙහිදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකථනයට වට්ස් ඇප් තාක්ෂණය ඔස්සේ අදාළ සැකකරු විසින් කුඩා දරුවන් ලිංගික අපයෝජනයට ලක්කරන කරන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් ලැබීමෙන් අනතුරුව කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකළ මූලික විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

ඒ අනුව සැකකරු පිළිබදව විමර්ශන සිදුකිරීමේදී ඔහුගේ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සීඩී තැටි 135ක්, පෙන්ඩ්‍රයිව් ,හාඩ්ඩිස්ක් ,මෙමරි කාඩ්, කැමරා ,ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගගත් බවත් ඒවා වැඩිදුර විමර්ශන සදහා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කළ බවත් පොලිසිය වාර්තා කර සිටියේය.

වසර දෙකක පමණ කාලයක සිට සැකකරු විසින් කුඩා දරුවන්ව ඔවුන්ගේ නිවෙස් තුලදී මෙන්ම තම නිවාස තුලදීද අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශන වලිදී හෙළි වූ බව එහිදී පොලිසිය වාර්තා කරන ලදී.

ඒ අනුව මෙම සිදුවීම හේතුවෙන් රූපවාහිනී රියැලිටි වැඩසටහන් සඳහා අවුරුදු 13ට අඩු දරුවන් යොදා ගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපති මුදිත විදානාපතිරණ මහතා පෙන්වා දුන්නේ මින් පසු එම මාර්ගෝපදේශන අනුගමනය නොකරන නාලිකා වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එසේම වෙළෙඳ දැන්වීම් හා දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහාද දරුවන් යොදාගැනීම වැලැක්වීම මේ සමඟම හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව එම අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියේය.